කවි කියවන්න ආව අය

29,530

Saturday, May 14, 2016

මා ඔය කොමලිගේ ඉරණම..!!

---- මා ඔය කොමලිගේ ඉරණම ----
සිහිලැල් කරන් වයඹේ පොල් වතු සාර
බැස ගිය කොමලි මා ඔය වැලි දළු පීර
කෙත් වතු පුරා පැසි රන් කරලක් නෑර
හිස නවනවා මේ ජල කඳ වෙත ධීර

මෝසං අනෝරා වැහි වට අකුණු සැරේ
රෑ තුන් යමට දොරකඩ ගං දියෙන් පිරේ
දියබත්  සියල් වත්කම් දැක අහස කෙරේ
එසවී දෙඅත් ගැමි හද මත සුසුම් පෙරේ

වේ වැල් කූඩයෙන් ඉඳ හිට ගත් වැල්ල
පහුරෙන් ගොඩට ආවා සිඹිමින් රැල්ල
බැකෝ ගිජිඳු බැස කරමින් දිය මෙල්ල
ටිපර් ගණන් ඇදුණා සොයමින් නිල්ල

උණ අට්ටික්ක තුරු දියඹට ගොදුරු වුණා
බිඳි ගං ඉවුරු මා ඔය තව විසල් වුණා
පෙර රූ සිරිය ඈගෙන් බොහො දුරස් වුණා
දිය කඳ දොගොඩ සරු කෙරුමද නිමා වුණා

රොන් පිරි කළල් තැන්පත් වූ ඉවුරු කොණ
රන් පස් පිඩක් ලෙස ලෝ තුළ පතළ වුන
උළු , ගල් නිමැවුමට මහ බඹු මවපු පින
නා ලොව දකින තුරු වුන් ගිය ගමන මෙන

ගං දිය පහළ බැස ළිං දිය දුර වූයේ
කෙත් වතු පුරන් වී අටු කොටු හිස් වූයේ
කෙළෙසින් සොබා මව පිරිපත ඉසිලූයේ
පරිසර නසා කවුරුද පොහොසත් වූයේ

නයෝමි සිරිනාලි නවරත්න කිවිඳියගේ නිර්මාණයකි

No comments:

Post a Comment