කවි කියවන්න ආව අය

Monday, February 29, 2016

අනියතයෙන් බිඳක්...!


-අනියතයෙන් බිදක්-

තට්ටය වසා දුටු විට වියු මකුළු දැලක්
සිකි පිල සරිව දිලි වරලස වුණා මතක්
ශ්වේතය දිනා කලු පාටට නොදී ඉඩක්
මවනා වෙනස ගැන නම් සිත සැලෙන හැඩක්

කෙදිරූ රහස් ඇසු දෙසවන වුණේ කුමක්
පිටු පස වැයෙන බෙර හඬටත් නොවේ වගක්
බැන බැන ලඟම හුන් අයටත් සුහඳ වතක්
නෑසුණු කනත් එක අතකින් පුදුම සැපක්

මිණි නිල් සරිව දිලි දෙනයන වගේ ළිදක්
ගල ගල කබ කඳුළු පෙන්වන අඳුරු ලොවක්
කළු සුදු නේක වෛවාරණ දුටුව නෙතක්
මග තොට සොයා ගන්නත් අද විඳින දුකක්

දසන් එදා මුව තුල බැඳි මුතු දෙපොටක්
වසන් වුණා නොදැනිම වී දිරූ වැටක්
සැලෙන රිදෙන කලු වුන දත් ඇතත් ටිකක්
කෑම පවා යුද්ධෙකි නැතුවාට හැඩක්

මිහිර මැවූ වීණාවක් වගේ හඬක්
සවන් පිනූ එදවස එය වගේ විතක්
දිව පටලැවී එන ලොල ලොල ගීය මිසක්
කවද ගයන්නද නැත යළි එවන් හෙටක්

පුර සඳ සේම දිදුළන විට සුසුදු වතක්
රන් රුව පවා පරයන අති සොඳුරු රුවක්
ඇකිලී ඉරි වැටී වැහැරී ගියපු සෙයක්
පඹයෙක් සිහි වුණා වැනෙනා මැදදි කෙතක්

තරංගා ජීවනී  කිවිඳිය   2013 මැයි මස 25 වන දින මුහුණුපොතට එකතු කළ නිර්මාණයකි .

මේ හරි පාරද ??


මේ හරි පාරද..??

නිවැරදි ලෙස ධර්මය ගති නම් කෙනෙකුන් සිතට
ඔහු බුදුහිමියන් දකීවි ඉන් නිවැරදි ලෙසට
නිර්මල බුදු බණ දර්ශනයකි වැඩි ආගමට
ඔළු ගෙඩි විතරක් වදලා කුමටද බොදු නමට..?

බේරුවල ඉඳන් හිටගෙන කළුතර බෝධියට
සීට් එකක් නැති සීයා නොපෙනුණෙ නිදි මතට
හිමියන් බෝ මැඩ හැර පිට දී නම් පොල් රුකට
උන් සේරම කොළඹ ඉඳන් හිටගෙන මාතරට..!

බුදු හිමියන් කරුණාවයි මේ හැම තුන් ලොවට
ඒ වගේද දෙවියන් ලනු හොඳ නෑ කෝපයට
බෙලිගෙඩි අඹ පත්තක්කා මොනරා ඒ උඩට
ඉතුරු උණොත් වැඳ ගෙන යමු මල් අපි දා ගැබට...!

ගමේ පංසලක් ඇති බව වත් නොදන්න උන්ට
රහත් වෙන්න කෙටි ක්‍රමයකි දිව යයි දඹදිවට
විහාරයේ හාමුදුරුවො වැඩියා මරණයට
ටී වි එකේ බණ කියනා හිමියන් දානයට...!

දන්න දවසෙ ඉඳන් ටිකට් පංසලෙ පිං කමට
ඇතුළට යන විටම කඩයි මැරුණ උන්ගෙ නමට..
සෝපාකල රහත් උණේ ඒ කාලෙම පිනට
විසි තිස් දාහයි හිමියනි දැන්නම් බණ පැයට.....!

සම්පත් කුරුප්පආරච්චි (Real machan ) කිවිඳුන්  14 May 2013 වන දින ඔහුගේ මුහුණුපොතට එකතු කළ නිර්මාණයකි .

තාත්තාව ගෙනත් දෙන්න ...

***කාට කාට හැකිදෝ මගෙ තාත්තාව
ගෙනත් දෙන්න***

ගාට ගාට දුවගෙන විත් පපුතුරෙහී තුරුළු වෙන්න
රෑට රෑට සඳ වට ඇති තරු දිහාව බලන් ඉන්න
පාට පාට දේදුන්නක වාඩි වෙලා ඉඳල එන්න
කාට කාට හැකිදෝ මගෙ තාත්තාව ගෙනත් දෙන්න

දිවිය ලොවේ අම්ම එක්ක ඉන්නව අපි දෙස බලාන
සවිය වෙලා අප සිත් තුළ සිටි හැටි මතකයි වෙලාන
අවිය කරන් දාරක පෙම යහ මඟ යැව් හද සලාන
කවිය නිසා හදවතෙ ගිනි මඳක් සිසිල් වෙයි ගලාන

දියණියකගෙ සිතේ ඉන්න උත්තම පුරුෂයයි පියා
පියතුමෙකුගෙ ආදර ලොව කිරුළ දරන රැජිණ එයා
හදවතෙ මගෙ හිත පතුලේ නො පෙනෙන ලෙස සඟව තියා
සෙනෙහස් ගඟෙ අගය කියා හදවත් තුල රැඳී ගියා

අම රස ලේ කිරි නැතුවට හිත අද්දර සදා උන්න
නිම නොවෙනා ආදරයේ වීරය ඔහු බවම දන්න
සම නොකැලැකි ඒ සෙනෙහේ කොටසක් බව පෙන්ව දෙන්න
සැම දෙනාම පිය සෙනෙහස අගයන්නට හිතට ගන්න

මාරි භාග්‍යා ප්‍රනාන්දු කිවිඳිය ගේ නිර්මාණයකි.  21/02/2015. උපුටාගෙන පලකරන ලද්දකි .

කුංචනාද ...


කුංචනාද

විදුලි කියතක හඬට හද කීරි වැද දවන
වඩා කස හඬක ඇති වෙනස කිමදැයි සොයන
උනුහුමට බෝ කලක් අප සුරැකි වන අරණ
කපා හිස් කරන වුන් රැස් කරන කොට අදින

සාධු ජන කැල පිනන විදුලි බුබුලක් දැරුම
කිසි කලෙක සම වේද සඳ එලියකට පුදුම
සිත සතුටු කල බැවින් රුක් මුලෙක නිදි වැදුම
නොපැතීමි කිසිදාක පෙරහැරෙක නිදි වැරුම

දුක් විඳින දනන්ගෙන් සොරාගත් බිම මතා
අසුන් විකුනා රැකෙන පින්වතුන් ගැන සිතා
සෙවන දුන් වනස්පති රස ඵලින් සැදි ලතා
කෙලෙස හැර එමිද මේ දම්වැලින් බැඳි සතා

තේජසින් ඔද වැදුනු පරපුරක පෙර රැඳුන
නෑසියන් ගිය ලෙසට මරු වඩින කල හැඳින
සොහොන වෙත යනු නොහී ඇත් හලෙක පණ අදින
තාත්තා කියන තුරු නොහැඟුනත් කිසිම දින

යදම් තදකල පයට පෑගුනත් ගිණි සිලක්
එගිණි සැර විඳගතිමි නොසොලවා පිට මදක්
ඉවසුවත් සිතා මෙය තිරිසනෙක් ලද පිනක්
එහිමි සඳ නොවේමැයි එකරඬුව අනුරුවක්

නුවන් තොටවත්ත කිවිඳුන්ගේ නිර්මාණයකි. 2014 ක් වූ මැයි මස 19 වන දින කරන ලද නිර්මාණයකි . උපුටාගෙන පලකරන ලද්දකි.

ඈ මහෙස්ත්‍රාත්වරිය නම් විය...


ඈ මහේස්ත්‍රාත්වරිය නම් විය...

සා පිපාසිත ඇතෙකි මා දියමංකඩක යදමින් බැඳී
රෝස මලකට ළං වුණා යැයි මල පිපෙන්නට ඉඩ නොදී
වාන් දමනට ළංව සමුදුරු සොරොව් දොර ළඟ පෙළ සැදී
තාම සඳ නැත පේන මානෙක නුඹ වසා මහ උළු නිදී....

කතර සරසන එකම පැන් පොද නීතියේ ලෝගුව දමා
හෙටත් එන්නට වරම් දෙනු එහි නැතත් වරදට මට කමා
මරණ දඬුවම වුවත් කම් නැත සියුමැලියි ඒ හඬ තෙමා
ගලා යයි සීතලට හදවත වැලඳ ගමි මම හිස නමා...

හෙටත් කළුවර ගලා යයි සිර මැදිරි අතරින් අත වනා
සඳත් ඇඳ ගමි සිහින අහසේ වළා අතරින් පායනා
නැතත් දිය පිරි විලට පා යුග තබන්නට විරි ළංවෙනා
නුඹත් වැස්සකි අහස නොහැළූ මගේ දා බිඳු සේදෙනා....

වෙනද නොදැනෙන යකඩ කූරුත් අතට අද මොලකැටි වගේ
එකවරක් විදුලිය කොටා නෙත් සිහි කළා ආයෙත් ඇගේ
කාලෙකින් දූවිලි මකා සිත පුරවලා හැඟුමින් මගේ
රූරලා වැහි බිඳු ගලා යයි නොනැවතී මහ උළු දිගේ..

සම්පත් කුරුප්පආරච්චි  (Real machan ) 2013 අප්‍රියෙල් මස අට වන දිනදීය..

දෙවෙනි ගමන...

දෙවැනි ගමන .......

රතට රතේ අර දැක්කද හිරු අවරට............... ඇදෙනවාය
සුදට සුදේ වතුසුදු ගහ අන්න සේල ................උනනවාය
නෙතට ඉබේ මතක දිගේ තුටු කඳුලක් .........පෙරෙනවාය
සිතට මගේ නිවනක් නෑ නුඹ එන මග............. බලනවාය

රෑන ගිරවු පැණි අඹ කා සතුටු සිතිනි ඉගිල ..............ගියේ
මා වවුලන්ගේ වරමයි උන් තුරු වෙත ඇදෙති ..........රැයේ
නෑ බිං කරුවල තවමත් හෙන්දිරික්ක පිපෙන........ පැයේ
කෝ එන්නෙද ඉක්මන් කර කිමිදෙමු වෙල පහල.... දියේ

වෙල් මාලු ද බතට උයා වැහුවා දුම් මැස්සෙ............ තියා
අල්ලපු ගෙයි හොර පූසා පෙරලාගෙන කාවි............. කියා
පිල් කන්ඩිය උඩ තවමත් එලුවේ නැත පැදුර.............. දයා
සංකාවකි හිත ඇතුලේ ඇයි රන් කඳ පමා............. ඔයා

හේනේ රන් මල් පීදී ඉරිඟු කරල් මෝදු................... වෙවී
බෑනේ තනි කර එන්නත් රැකවරණය එයට ............නොවී
හීනේ මගෙ හිත තෙරපී මිහිරක් ගත තුලට.............. කැවී
පානේ එළියත් දැන් නම් රෑ කළුවට එලිය................ දෙවී

කඩුල්ලෙ සද්දෙට ටොමියා බිරුවේ එලියට.......... පැනලා
විදිල්ල වගෙ ඇහැ ඇරුනේ නෙත් ඒ පැත්තට.......... දුවලා
හැවිල්ල ඉවරයි හිමි සඳ වැඩියා හුල බිම.............. තියලා
කැදැල්ලෙ ඇත කුරුළු යුවල දැන් පහනෙ ද සිල.... නිවිලා

මංගලිකා පෙරේරා  2014/03/31 දින ලියන ලද නිර්මාණයකි.

යුවතියනි ඔබට සිතන්නට යමක්...

නිමිත්ත ......,
සල්ලාල පෙම්වතෙකුට හසුවී කැමරාව ඉදිරියේ ලිංගික ආලිංගනයේ යෙදුනු පෙම්වතියක් සිය දිවි නසා ගනී .අනිකුත් පෙම්වතියන්ගේ ඉරණම කුමක්ද ? පුවතක්

බිහිවෙන බිලිඳු නැළවෙන අද............ තොටිල්ලේ
තව දරුවෙකිය ලොකු වෙන එක ...........ඇසිල්ලේ
තම තම මතය ගෙන හැසිරෙන............. නිදැල්ලේ
ඇයටද ඔහුට ඇත නිදහස ...................විසිල්ලේ

අනන්‍යතාවයක් ඇත සැමටම ...................නිතින
රහස්‍ය භාවයක් ඇත හැම දෙන.................. රකින
තමන්ම පමණි දැන ගත යුතු එම............... කරුණ
ලබන්ට නොහැක එය කිසිවෙකුටත්........ හොරෙන

මිනිසා හැදෙන්නේ විලි බිය දෙක ................ඇතුව
එය රැක ගත යුතුයි විශ්වාසෙන්................... යුතුව
ආත්ම ගව්රවය රැක ගත්තොත්................... සතුව
මිනිසෙකු ලෙසට ලොව දකි'තැකි කැත........ නැතුව

හොඳ දෙය මෙන්ම නරක ද ලොව බොහොම... ඇතී
විවරව තිබේ දොරවල් දුටු වැරදි ....................පැතී
හිතවත් සුපෙම්වත් පිරිස ද එකට ....................එතී
අන්තර් ජාලයේ මග දිග සිනහ.................... සෙතී

වැසිලා තිබේ ලිංගික......................... කඩතුරාවද
නොසොයා බලා එබුනොත් එය ගනී............... ඇද
රැවටී එකින් එක ඇඟ සළු...................... උනාවිද
තවෙකෙක් එයින් ගති රහසින් රසේ ................විඳ

නොදැනම අලෙවි වී ඇත තම අඟ................. පසඟ
කැත හිත සමග තවෙකෙක් කර ගති............ වසඟ
හිතටත් හොරා සිදු වන්නට වෙයි ..................එකඟ
අවසන යෙදෙන්නේ උණු කඳුළුය .............නෙත 'ග

තම ජිවිතේ රැක ගත් අභිමන ......................අතැ'ර
පැවරිය යුතුද නොදුටුව කෙනෙකුට ...............යතුර
සල්ලාලයින් ඇත ලොව දස අත.................. පැතිර
කාගෙද වරද උන් හට දුන්නේ.................. දොරැ' ර

මංගලිකා පෙරෙරා  කිවිඳිය 28 /09/2013 දින ලියන ලද කවි පන්තියකි .

උපන්ගම ...!!

උපන් ගම
.
කඳු ගැට මතට නැග එන හිරු අඳුර.............නිවා
හිනැහෙන දරුවෙකුට සම වෙයි පෙනුම.......පවා
හවසට බසින විට එය තෙත පොළොව..........දවා
සඳ විත් සනසවයි යළි සොමි සිසිල............හොවා
.
මනහර ඔයේ ගලනා වෙල් යාය...............මැදින්
පැහැදිලි දියේ කෙළිනා මින් රැළකි.........සොඳින්
කෙළිලොල් වියේ කළ දෑ එහි සිහිව...........හදින්
මම නැවතුණා මැදිවී මතකයක................තදින්
.
නියඟේ දැවෙන ගිනි මහ වැසි දියේ............හැපී
පරිසර-යකිය සමබර එකිනෙකට................කැපී
විටෙකදි රැවූවට සොබාව දහම...................කිපී
වසරේ නොමැත දිනයක් මල් නොමැති..........පිපී
.
ධාරානිපාතයකදි භූ තලය...........................බිඳී
නෑ ගංවතුර ගැලුවේ ඉතිහාස....................යෙදී
නායක් නොගිය මේ බිම දත් කාලෙ.............කදී
ජීවය නොමැත පෙළුවේ දිය දහර.................සිඳී
.
උදයෙක නැගෙන හිරුගේ ලා කිරණ............රැස
තුරු පත සිඹිය යුතුමය දැක ගන්න................පස
විඳි විට කුරුළු, මී මැසි ගීතයක...................රස
විටෙකදි සිතුණි ගන්නට මට උන්ගෙ...........වෙස
.
මොණරෙකු, මුවෙකු, සාවෙකු දිව යනු.......දකින
සිහිලැල් සුළඟ නිරුවත් උඩු කය...............සිඹින
ලෙන්ගතු හිතැති සරල’වු මිනිසුන්...........වෙසෙන
මේ පරිසරය මට දෙව් ලොවටයි...............දෙවන
.
සිතිවිළි දෝලනය වී යළි නැවති..................තැන
ඉල්ලීමකිය හදවත තුළ ජනිත.....................වුන
කවදා කොතැනකදි ලැබුවත් මියෙන............දින
මේ ගම් පියසෙ මා මිහිදන් කරනු...............මැන
(ශාවී)

ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි 2013.10.01

වල් බල්ලාගේ පාපොච්චාරණය....


වල් බල්ලාගේ පාපොච්චාරණය ....

නැතුවට මැදුරු හිස් අහසේ හිස ‍රැඳුනු
එක අගු පිලක් ඇති දූවිල්ලෙන් පිරුනු
දේදුනු මුතු මැණික් කලුසුදු වට පෙනුනු
සරලය ජීවිතය හෙලුවැල්ලෙන් ගෙවුනු...

රජ ගේ රිදී දම් වැල් බැඳ ගත් කරට
උන් බිරුවාට අපි දු‍ටුවම බලු කමට
උඹලගෙ උනුත් චන්දෙන් ගොස් ඒ තැනට
වැ‍ටුනම හිතුනි වෙනසක් නෑ නොවැ අපට...

මව් පිය වරුන් පාරට විසිකළ පුත්තු
පීඩිත දනන් අමතක නායක ඇත්තු
මැද සිත අපේ නොමැරෙයි බත් පත ගත්තු
වලිගය වනා හෝ ගුන සලකයි සත්තු...

පාරේ දෙනෝ දහ මැද අත පය කපපු
නීතිය අතට ගෙන චූදිතයන් මරපු
උන් දු‍ටුවාද බල්ලෙකු, බල්ලෙකු හපපු
පිලිගෙන වරද වලිගය දෙකකුල ගහපු..?

නීතිය රකින බිරිඳකි හිර කල ගෙදර
ලාබෙට සොයයි පිට කො‍ටුවේ අලි පේර
සංස්කෘතිය නම් කඩ තිර පට නෑර
උන් හෝටලේ බල්ලන් සේ මහ පාර...

මිනිසුන් නවන කල නොමිනිසුනට ඔලුව
හවසට අපේ ලඟ නිදියන විට සලුව
වෙනසක් නොමැත වහගෙන හිටියට හෙලුව
දාහෙන් සැපකි ඉපදෙන එක වී බලුව...

සම්පත් කුරුප්පආරච්චි (Real machan)  කිවිඳුන්ගේ නිර්මාණයකි .
2013 පෙබරවාරි 17

සංවාදය ක්...!

බිරිඳ
රතදර සියුමැලිද නැත නිති දුකෙහි එතී
රනහස යුවල කිරි දී බොහො වෙහෙස ගතී
දේදුනු දෙබැම සිහිනිඟ පුලුළුකුල නැතී
හිමියනි තවත් කොහි වෙද මගෙ සොඳුරු පැතී

සැමියා
සුවදෙන සඳ වගෙයි තව කුමටද සුරුවම්
හදගින් නැගෙන සුවඳද මවෙතට මනරම්
සුරතුර සුරබිදෙන සමවෙයි නුඹ මටනම්
ඉගසුග අවැසි නැත මැවෙනට කවි සිතුවම්

බිරිඳ
අතමිට නොයෙදුවෙමි මේ කය සරසන්න
මුල් තැන දුන්නෙ ජයටැඹ වෙත පිවිසෙන්න
ජීවන සුවඳ මිස අහලක දැනගන්න‍
හැමුවේ නොමැත කිසිවක් සිත ඇදගන්න

සැමියා
අහඹුව විලස දිවියට විත් නිසන්සලේ
මගෙ ලොව කිමද මේ ලෙස ඔබ පහන් කළේ
දුටුවිට ලබැදි රුව මහදට පවන් සැලේ
සැනසෙමි බැල්මකින් වුව නෙත් ගිමන් හලේ

බිරිඳ
ලාලිත ගමන පෙරදින දැක රසවින්ද
නා දළු දෙතොලෙ නෑ අද පෙම් මකරන්ද‍
රෑ මැදියමේ හිමියනි මගෙ නිදි බින්ද
එ සුව ඔබ ලබන්නේ දැන් කොයිඹින්ද

සැමියා
වියපත් සිතේ නිති රැඳි ආදර කන්ද
පිවිතුරු සඳ ඒළිය ෙමනි ඒය සැක මන්ද
කොදමල පිපුනෙ සිසිගෙනි අන් කුමකින්ද
වෙන තුරුලක රැ‍ ‍ෙඳන්නේ මොන සිතකින්ද

බිරිද
දිගුකාලයක් දිවිබර ඔබෙ උරේ දරා
වෙහෙසයි නේද සැරුයෙන් මේ බවේ පුරා
දිනකදි නිවෙමු එලඹී මොක් පුරේ කරා
ඒතෙක් පසුපසින් එන්නද යශෝධරා

සැමියා
දුක සැප දෙකෙම මා ළඟ හිඳ නොසැලීම
පාරමි පිරු තරම් එය ඔබෙ ඉවසීම
පෙර සිට ආ පුරුද්දකි මෙය නොදැනීම
එනු එනු සොඳුර උපදින හැම බවයේම

කේ කේ ශ්‍රියානි පුෂ්පකුමාරි කිවිඳියගේ නිර්මාණයකි .

දයාබර මරණය...!!!


-දයාබර මරණය

තැලෙන පෑරෙන මගේ හද කෙත සැනසුමේ බිජු වපුරලා
දෙනෙත් පුපුරා ගලන ලෝ දිය අනේ සදහට වියළලා
යළිත් කිසිදා නොඑන ඈතක මගේ පණ නල සඟවලා
දයාබර මරණය ඉතින් මගෙ ලොවට එනු මැන පියඹලා

වඳින වඳිනා දෙවොල හිස මත වැටී මා හෙම්බත් කළා
තනිව හඬමින් සැමට සිනහව පිදූ එක වරදක් වෙලා
අනේ තව බෑ දරන්නට හද යාවි සත් කඩකට පළා
ලබැඳි මරණය එන තුරා නුඹ ඉන්නවා මං මග බලා

ගිනි වැදී මගෙ ආත්මය දැවි දැවී අළු වන මොහොතෙදී
සීත පිනි දිය පොදක සිසිලස සොය සොයා දිව ඇත ඇදී
කිමද මරණය ගාට ගාටා ඉන්නෙ මේ හැටි වද දිදී
අනේ සැණෙකින් එන්න ආසයි ඉන්න නුඹෙ තුරුලට වැදී

සොඳුරුමැයි බද බදා අල්ලා කිසිත් නැති අත් හිස් මගේ
සෙනෙහසින් වට කරන් සිටි වුන් කිසිවෙකුට මා නැත අගේ
අඳුරුමැයි මගෙ ලොවම සදහට අමාවක ඇවිදින් වගේ
එකම තරුවත් නිවුණි මරණය එන්න මගෙ සුසුමන් දිගේ

රහසිනුදු පව් නොකළ වග දෙවියනි බලන් පොත පෙරළලා
රජුට වෙස්සන්තර තරම් නැති නමුත් හැම දේ කැප කළා
අනේ දෙව්දත් පරපුරම විත් මටම ගල් කුළු පෙරළලා
උන්ට හිනැහී ඉන්න මරණය මාව අරගෙන යනු පළා

තරංගා ජීවනී කිවිඳිය 14 June 2013 දින ලියන ලද කවි පන්තියකි .

කිවිඳු මළ දා


කිවිඳු මළ දා...

මළ සිරුර රැගෙන ආ පෙරහැරේ ඝෝෂාව
ඇද හැලුණි ඒ අතර හීන් පොද වරුෂාව
ඇසුණු හොරණෑ හඬට නැතිව කිසි ආශාව
නොවැටහුණි ජීවතුන් කතා කළ භාෂාව

ජීවතුන් සියලු දෙන සිරුරු කඳ වළ දමා
අවසාන කටයුතුද කළේ අද දින තමා
සවස් විය, අඳුරු විය සඳ මොකද තව පමා
නොදැන සිටියෙද එදින අමාවක බව සැමා

දැල්වෙමින් තිබුණි එහි ඉටි පහන් දෙක තුනක්
සොහොන මත දිස්වුනා මල් වඩම් කිහිපයක්
ඉටි පහන් නිවුණු පසු ඇරඹුණේ ඝණ'ඳුරක්
සොහොන් බිම පුරා විය පාළුවක් , තනිකමක්

සොහොන් බිම අසල වූ අඳුරු වූ ගස් තුළින්
ගලා ආ බකුසු හඬ තුනී වී මඳ නළින්
තිගැස්සුණි මොහොතකට ඇසූ මුත් එය කලින්
සොහොන් මත පුවරු විය මළවුන්ගෙ නම් වලින්

ගත සැතපු තැන සිටවු ගල් පුවරුවක් මතේ
ලියැවිලා තිබු කවිය තිබුණි කවි ලියු පොතේ
එහි යමක් ලියන්නට කවි සිතට තව සිතේ
එහෙත් පන්හිඳක් නැත මැරුණු කිවිඳුගෙ අතේ

මා ඇ කු
21.07.2012

මාර්ක් ඇන්තනි කුමාරගේ කිවිඳුන් ගේ නිර්මාණයකි .

සඳ සාක්කි...


සඳ  සාක්කි..!!
--------------------------
කඳුළු බිදු වැහි කෝඩයක් වී කොලොම් පුරයම තෙමාවී
මගෙ සුසුම් මද මාරුතය වී ඔබේ වත සිප හමාවී
මගේ දුක් ගී ගිරා කොවුලන් නුඹෙ සවන් ළඟ ගයාවී
සකි සඳුනි නුඹ නොමැති යහනේ කඳුළ මගෙ තනි මකාවී

රෑට මග දිග පිපෙනවාදෝ හිමියනී කඩුපුල් කුසුම්
පාට සමනළ තටු වගේදෝ පෙති මතින් වෑහෙන කැළුම්
දාට තනිකම ළයේ ඇහිරෙන ඉහිරවා මල් මත හැඟුම්
කාට වුව තනි මකන කඩුපුල් ළඟ ද රැය සඳුගේ  රැඟුම්

සිතේ හිමියනි කවුළු හැර දා විදින්නට සඳ  කැළුම් දහරක්
ගතේ තැවරෙන මදනලින් අයදින්න අනුරා සිහිල් පහසක්
නෙතේ දැවටෙන සොඳුරු සිහිනෙක දැවේ නොනිවෙන පුලිඟු කිහිරක්
නැතේ හිමියනි කරන්නේ මා නුඹට සැහැසිව කිසිත් හිතුවක්

වීනාවි සුලඛ්කනා කිවිඳිය විසින් 2012 ජූනි 22 වන දින ඇයගේ මුහුණුපොතට එකතුකළ නිර්මාණයකි . ඇයගේ අවසරය මත උපුටාගෙන පලකරන ලදී..

රිච්මන්ඩ් කාසල් කතාව

මෙය අළුත් කතාවක් නොවේ ..ඔබ බොහෝ දෙනෙක් අසා ඇති කතාවකි ....
කරුනාරත්න දිවුල්ගනේ ගායකයා තම 'ආදරය සුන්දර වරදකි ' ගීතයේ පසුබිමට යොදාගෙන ඇත්තේද මේ මැදුරයි .

රිච්මන්ඩ් කාසල් කතාව

ඉතා පොහොසත් මුදලි කෙනෙක් කළුතරත් ....විය
රටින් රට පිහොසතුන් හා මිතුරු කෙනෙක් .......විය
එංගලන්තයේ රජ මදුර හුරු තැනක් ................විය
රිච්මන්ඩ් නම රැගෙන මැදුරකුත් සදා...............විය

ඉන්දියාවේ මහා රාජ කුමරෙකු .....................සතූ
මන්දිරයෙආකෘතිය ලෙසට මෙය කල ............යුතූ
හැකියාව ඇත ඔහුට කරන්නට දේ .................සිතූ
මහ මදුර නිමාවිය ලෙසට එතුමන් .................පැතූ

සුවහසක් දැසි දසුන් පිරිවරා දුක .....................සිඳී
විජය මහ මන්දිරේ මගුලකට අර................... අඳී
මුදලිතුම පෙරහරින් රජ පිරිස හා ...................බැඳී
සුමුදු කුල කුමරියක් මනාලිය කොට................ බඳී

සුරූපී ඇය ඉතා ලාබාල .......................පෙනුමැතී
මහ මැදුරු ගෙට සිරිය සෝබාවගෙන .............දෙතී
කාරුණික ගුණ නිසා ලබා දැසි දස් .................තුතී
සිළුමිණක සේ පෙනී යෙහෙන් මෙහි........ වැජඹෙතී

රාජකාරියට යැයිකියා නිතරම.................... අනේ
මුදලිතුමා රටින් රට නැව් නැගී පිට............... වුනේ
දින මාස ගණන් ගැන කුමාරි මෙහි......... ලතවුණේ
කුමන සැප සම්පත ද නැතිව හිමි සඳු ..........සෙනේ

මතු සම්බන්ධයි ...

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි. නිර්මාණ අයිතිය මංගලිකා පෙරේරා කිවිඳිය සතුය..

තුරුණු සිරකරු...

තුරුණු සිරකරු
************

1. අම්මේ අනේ මගෙ කථාව............අහගන්න
---ලැබෙනා දෙයින් සැනසෙන්නට....හුරුවන්න
---තන්හා සිතුවිල්ල සිත වෙත......නොම එන්න
---ඇස් කන් දෙකම ඔබෙ සංවර........කරගන්න

2. අල්ලපු ගෙදර ධනවත්කම........නොසිතන්න
---අප්පගෙ ශ්‍රමය වෙත ඔබෙ නැණ යොදවන්න
---ලැබෙනා දෙයින් දරුපවුලම..........රැකගන්න
---මව් උනුසුමෙන් පැටවුන් වෙන්...නොකරන්න

3. ආදායම මදියි මැසැවිලි...................නංවාලා
---අම්මා රට ගියා අප මෙහි..............තනිකරලා
---සිව් වසරකට පසු කහවනු...........පොදි උසුලා
---ඇය යළි ආවා රන්වන්..............පාටට හැරිලා

4. පාළුව විඳගන්න බැරිඋන..............අපෙ අප්පා
---රහමෙර හුරුඋනා තනිඋන..............හිත සතපා
---දැනුවත් නොවුන අත්තම්මා.....සෙනෙහෙ පපා
---නිදහසෙ වැඩෙන්නට නංගට.........දුන්නා සැපා

5. සිහින ලොවේ බැබලෙන..........නිළි වෙස්පාලා
---පොඩි හුරතළිය හෝටලේ.......නලඟනක්වෙලා
---රෑ අඩ අඳුරෙ ධන වැදි.................හිත් සතපාලා
---නංගිත් කසි රැස්කරණවා...............ගොඩගහලා

6. ලෑලි මඩුව දිළිසෙන.....................මැදුරක් වීලා
---පෙර තිබු සාමෙ අතුපැල................හා මියෑදිලා
---අම්මයි පියයි නිතරම.....................විරසක වීලා
---බැන අඬගහනවා කාසිය...................රජ කරලා

7. සංකර වෙළඳ ලොවතුළ.......තරුණයෙකුවෙලා
---වැඩුනත් මනස දැන් නිදහස...............හිරකරලා
---සැමගේ හිත්පුරා වෛරය..................ඔඩු දුවලා
---දවසක් රෑක පිපිරූවා......................බැමි කැඩිලා

8. දිළිසුන මාළිගා බිම................රත් පැහැ ගැහිලා
---අම්මත් පියත් මස් මඩුවක.............කැබළි වෙලා
---අසංවර මනස මා......................පිස්සෙකු කරලා
---පෝරකෙ ළඟටවී....................ඉන්නවා හිස්වීලා

නිර්මාණයේ හිමිකරු නිශ්චිතව පැවසීමට මතකයක් නොමැත උපුටාගෙන පල කරන  ලද්දකි .

70 දශකයේ ගීත ...

****....70 දශකයේ ගීත ....****
(මේවා ලියවුනේ එවකට ජීවිතයේ 3 වැනි දශකයේ සිටි අපටම වෙන්න ඇති. පොඩියක් සොයා බලන මෙන් ඔබට ආරාධනා).

ආදරය පුරවා ගෙනා ඒ සෝක සැනසුම් .................වේදනා
ඈතකය කඳු ආදරය රැඳි වලා එය වෙත ................පාවෙනා
ඒ ඔබේ මුදු සුවඳ මුසුවී සිහිල් සුළගේ .................රැලිදෙනා
ගායනය වික්ටර්ගෙ වේනම් සොඳුරු හදවත් ..........සැනසුනා

මින්දදගෙ හී සරය ගැන අප හොඳින් දැනුවත් ........කරමිනා
හන්තාන කඳු මුදුන පිසදා පවන කුටියට .............පැමිණුනා
දොළ අයිනෙ ගුරු පාරෙ අපගේ රහස් ගැන හෙම.. ලියැවුනා
අමරදේවගෙ සොඳුරු ගීයෙන් අපගෙ ආලය ..........පිබිදුනා

ඔබ පමණි අවදිව සිටියෙ ඒ රැයේ නුවරක් ...........නිදියෙනා
අද නැතත් මුතු මාල හත වුව කඩුලු පැන එයි .........නිසිදිනා
ආලයට කෝඩුවේ යන මේ ඇගේ සිතමය ..............වාසනා
ගීයෙ නන්දා මාලිනී ගැයු තරුණ හදවත් ...............කිමිදුනා

සුනිල් පෙරේරා 14/12/2013 දින කරන ලද නිර්මාණයකි . නිර්මාණ අයිතිය සුනිල් පෙරේරා කිවිඳුන් සතුය . ඔහුගේ අවසරය මත උපුටාගැනීමකි.

දරු සෙනෙහසේ යුතුකම ...!!

****.... දරු සෙනෙහසේ යුතුකම ....****
ජනිත වී මෙලොව ඔබ මසිත කුල්මත් ..........කළා
නොනිමි ඒ දසුන මා සිතෙහි ඇත ..........ගුලිවෙලා
යෙදෙන සුබ අසුබ හෝ කරුනු ලෙස .....මතුවෙලා
සුදුසු ලෙස හැඟුම් දෙයි සතුට හෝ සිත .......පෙලා

පියා මව නොවෙනස්ව දරන මෙම .....සෙනෙහසේ
දයා ගුණ සමබරව රැඳුණු ගුණයකි ..............රසේ
සදාතන සිහිවටන එකින් එක ගොඩ ...........ගැසේ
ඔබේ තනුවට අනුව අපේ සිත පෙළ ...........ගැසේ

පරාජය ජය හමුවෙ හොඳින් එය මැන ..........බලා
අපේ ඇති පෙරහුරුව ඔබට ඔවදන් .............කළා
සිතේ දුක වැඩෙන තැන් සුදුසු ලෙස ........විසඳලා
ඔබේ යහපත බලා අපේ දිවි වැය ...............කළා

යොමා ඔබ යහපතට සිටිමු ඈතට .............වෙලා
සදා අප නොරැඳෙමුය කියන්නට ලං ..........වෙලා
එදා බැඳි සෙනෙහසින් වැඩුණු ඔබ දෙස .......බලා
අපේ නෙත් වැසේනම් ඔබේ යුතුකම ...........කළා

සුනිල් පෙරේරා කිවිඳුන් 21/12/2013 වන දින ඔහුගේ මුහුණුපොත් පිටුවට එක්කළ නිර්මාණයකි . ඔහුගේ අවසරය මත උපුටාගෙන පලකරන ලද්දකි .

ආදරය සුන්දරද මෙතරම්..?

ආදරය සුන්දරද මෙතරම්
.
සඳ දිය පෙරා සොමි සිසිළස දොවා................ගෙන
උදුරා සුවඳ මදනළ හා හමා.............................එන
විසිතුරු දැකුම්කළු දෑ සිත යටට....................පැන
සිතිවිළි නැගෙයි සියොළඟ කිති කවා.............ලන
.
පෙම්බර කිරිලියේ හදවත මිහිරි....................කළ
ලංකර මුවඟ හැකිවෙද සිපගන්න................ගෙල
පිංබර නිහඬ අවිහිංසක සුවඳ........................මල
කොච්චර දඟද නුඹ ! මා දුටු සිහින..................වල
.
මොණරෙකු , පරවියෙකුගේ ගති රැගෙන....ගෙනා
ආඩම්බරය, හුරතලයද එකට.........................අනා
නුඹ සැරිසරණ විට මා හද කුටිය....................පිනා
ලොව තුළ කිසිත් නැත මට එහි නුඹම...........විනා
.
දිදුළන තරුව, සඳවත, දේදුන්න.....................කඩා
සසඳා බැලූවෙමි දෝතට රැගෙන.....................වඩා
සයුරද රුදුයි විටෙකදි රළ නගන...................හඬා
නුඹ සියුමැළියි මේ හැම දේකටම...................වඩා
.
නොකියා පැමිණ නුඹ සිත යට රඟන.........වෙලේ
ලොව ඇති සියළු රස කැලතේ සිතැඟි.........දොළේ
පාවී ඈතකට පෙණ පිඬු බිඳෙන....................රළේ
සුන්දර රහස මේ මහ මුහුදේම......................ගිළේ

(ශාවී)

ශාන්ත විජේසිංහ කිවිඳුන් 2013.12.06 දින මුහුණුපොතට ලියූ කවි පන්තියකි . නිර්මාණ අයිතිය ශාන්ත විජේසිංහ කිවිඳුන් සතුය .

තාත්තේ...

මෑත දිනෙක සිරිලකෙහි සිදුවූ, පියා විසින් තම වයස අවුරුද්දකුත් මාස නාමයක් වූ දියණිය කළු ගලෙක ගසා මරා දැමීමේ සිද්ධිය පිලිබඳ අනුවේදනීය පුවත.......... 

****....තාත්තේ....****
මෙලොවට මා ගෙනා මගෙ බුදු .......පියාණෙණි
මාහට ඔබේ උණුසුම දැනුනා .................පමණි
භවයෙක මගේ මිනිසත් කම ලැබු ..........රමණි
මෙලෙසට නිමාවක් ඇති බව නොම ......දැනුණි

බහ තෝරමින් ඇමතුව මගෙ ...............තාත්තා
හඳුනා නොගත් මා  බිළිදෙකි ..............කාන්තා
සිතුසේ නැතත් ඔබගේ මේ .................සිඟිත්තා
මෙලෙසේ මරන්නට කිම දුටු ..............නිමිත්තා

අම්මා මගේ නිවසේ නොසිටිය .............විටෙක
කැන්ඳු ඔබේ මග ගියෙ සතුටිනි ............සිතෙක
වැන්දා නිසා දිනයෙක එහි සිට .............පසෙක
කිම්දා සැකක් පන්සලෙ නිමවෙන .........භවෙක

මට ආදරෙ කලත් පණසේ මවු ...............තුමිය
ඔබටද මගේ භවයේ යුතුකම ..................හිමිය 
යුතුකම නොබා සැලසූවෙද මෙම........... නිමිය
මතකද සැවොම වැන්දේ එහි බුදු ............හිමිය

ඔසවා අරන් මා ඉහලට යන .........මොහොතේ
සිතුවා මමත් සැනසෙන්නට ඔබෙ .......දෙඅතේ
ගැසුවා නිසා වැරයෙන් කළුගල් ........පොත්තේ
මොනවා වුණා දැයි මින්පසු නොම .......දත්තේ

නොදුටිමි ලොවක් දින හයසීයට ............තිබ්බ
දුටුවෙමි පුරුදු වෙදැදුරු අවසනෙ ...........තිබ්බ
මම යමි සොයා මට හිමි සසරක ............ඔබ්බ
පතනෙමි ඔබට සැනසුම සිට ............ගන්ධබ්භ

.සුනිල් පෙරේරා කිවිඳුන්  05/09/2014 දින සිය මුහුණුපොත් පිටුවට එක් කළ කවි පන්තියකි ..