කවි කියවන්න ආව අය

Saturday, May 14, 2016

හද දිනු කුමරිය...

++++
පහනෙක සිලකිය සුදු වත දිලිසෙත - හද දිනු කුමරිය ගමු අපි අති'නත
******************************************************************
ප...හනෙක  සිලකිය සුදු වත...........................................දිළිසෙත
හ...ද  දිනු කුමරිය ගමු අපි...............................................අති'නත
නෙ...ත මගෙ පුබුදත ඔය හෙළ.........................................සියපත
ක...ලතයි  අම මධු තුළ මගෙ...........................................කවි සිත

සි...තිවිලි  දහරා හද මැඳුරට...................................................වැද
ළ...ත  වෙයි කඳුළැ'ලි සළමින් ඉකි..........................................බිඳ
කි...ම  නිසසල මගෙ තනි කම සිඳ...........................................හද
ය...ළි  යළි දැක ගනු රිසියෙමි.............................................පියබඳ 

සු...ව විඳ  හද සිපි මල් සර.................................................හීයෙක
දු...ක බිඳ  ගෙවැදී සුර පෙම්..............................................පායෙක
ව...ත සිප  ඔබෙ වී රැඟුමෙක................................................දායක
ත...නුවක්  වෙන්නෙමි මම පෙම්...........................................ගීයක

දි...වි  මඟ සුසුවඳ කුසුමෙන්............................................සැරැසෙත
ලි...යමුද  අපි සියොතුන්හට ගී..............................................පොත
සෙ...නෙහස  මගෙ හද උතුරා...........................................විසිරෙත
ත...ව තව කිම රකිනුයෙ ඔබ............................................මුණි වත

හ...ද දිනු  කුමරියෙ අපි ගමු..............................................අති'නත
ද...හසක  බාධක මැද සිත..........................................නොසැලෙත
දි...රි දී විසිරෙත පෙම් මල්................................................විකසිත
නු...ඹ  මට වටිනව තරමට................................................මිහි කත

කු...මරියෙ  යළි ඉපැදිණි නුඹ...............................................දුටු දා
ම...ම  නොම හඳුනමි පැරැදුම..............................................කිසි දා
රි...සි  ලෙස නොබියව ගත සිත.............................................පුබුදා
ය...මු  ඉදිරියටම ජය දද.......................................................විහිදා

අ...පි  පිවිසෙමු සතුටින් ජය මඟ............................................වෙත
පි...පි  ආසිරි මල් සුවඳ හමනු.................................................ඇත
ග...ලමින්  රස ගඟ ඉවුරු ද................................................උතුරත
මු...තු  මිණි නො පතමි මිස මම ඔබෙ.......................................අත

අ...සුරමි  සෙනෙහසෙ මිණි මුතු.......................................සුරැකුණු
ති...රමය  මට නුඹෙ හද බව නො........................................වැසුණු
න...වතිනු  නො හැකිය පෙම් මඟ.......................................පිවිසුණු
ත...ව  එක මොහොතක් බැහැ මට......................................ඉවසණු

  විජය  මාපලාන  කිවිඳුන්ගේ නිර්මාණයකි.

මා ඔය කොමලිගේ ඉරණම..!!

---- මා ඔය කොමලිගේ ඉරණම ----
සිහිලැල් කරන් වයඹේ පොල් වතු සාර
බැස ගිය කොමලි මා ඔය වැලි දළු පීර
කෙත් වතු පුරා පැසි රන් කරලක් නෑර
හිස නවනවා මේ ජල කඳ වෙත ධීර

මෝසං අනෝරා වැහි වට අකුණු සැරේ
රෑ තුන් යමට දොරකඩ ගං දියෙන් පිරේ
දියබත්  සියල් වත්කම් දැක අහස කෙරේ
එසවී දෙඅත් ගැමි හද මත සුසුම් පෙරේ

වේ වැල් කූඩයෙන් ඉඳ හිට ගත් වැල්ල
පහුරෙන් ගොඩට ආවා සිඹිමින් රැල්ල
බැකෝ ගිජිඳු බැස කරමින් දිය මෙල්ල
ටිපර් ගණන් ඇදුණා සොයමින් නිල්ල

උණ අට්ටික්ක තුරු දියඹට ගොදුරු වුණා
බිඳි ගං ඉවුරු මා ඔය තව විසල් වුණා
පෙර රූ සිරිය ඈගෙන් බොහො දුරස් වුණා
දිය කඳ දොගොඩ සරු කෙරුමද නිමා වුණා

රොන් පිරි කළල් තැන්පත් වූ ඉවුරු කොණ
රන් පස් පිඩක් ලෙස ලෝ තුළ පතළ වුන
උළු , ගල් නිමැවුමට මහ බඹු මවපු පින
නා ලොව දකින තුරු වුන් ගිය ගමන මෙන

ගං දිය පහළ බැස ළිං දිය දුර වූයේ
කෙත් වතු පුරන් වී අටු කොටු හිස් වූයේ
කෙළෙසින් සොබා මව පිරිපත ඉසිලූයේ
පරිසර නසා කවුරුද පොහොසත් වූයේ

නයෝමි සිරිනාලි නවරත්න කිවිඳියගේ නිර්මාණයකි

Tuesday, May 10, 2016

වසන්තය නිමා විය

වසන්තය නිමා විය ,

සිරි පොදය පොලොව සිප ඉඩෝරය කළා ....... නිම
මද සුළඟ සිලි සිලිය අතු අතර දඟේ ...............කිම
තුරු මුදුන් සරසවා සුපිපි මල් වලින් ................ සැම
වසන්තය පැමිණුනා ජීවිතේ ..................සොඳුරුතම

තෙත පොලොව නැවුම් සුවඳින් හිඳී ........කුල්මත්ව
ඇහැරිලා ගහ කොළ ද බලා සිටි ............හෙම්බත් ව
පිපුණු මල් වෙත ඇදී බඹර කැල ............. මන්මත්ව
රොන් උරා බොනු දුටිමි ලං වෙවී ...........පෙම්වත්ව

කුරුළු පෙළ මල් වියන් යට සදා ....................ඕවිලී
හිමිදිරියෙ සිට ඇඳිරි වැටෙන තෙක් පෙම් .... කෙලී
මිහිරි ගී නද දෙමින් නොහැර රසයේ ............. ගැලී
අසනු රිසි කිචි බිචිය නගන උන් .............. සියුමැලී

දොළ දියට වැටෙන මල් යතී දිය පිට ...........ගලා
අසල ගල් කුලෙ හැපී පෙන බුබුළු .............නංවලා
පතුලෙ රතු නිල් කැට ද ගෙන තබා ........... හංගලා
ලලිත ගමනට ඇගේ මින් පැටවු පෙම් ...........කළා

රසය දුන් මුත් කෙමෙන් වසන්තය නිම .........වුනී
මල් ද කොල පල සැවොම අතු අගින් ......ගිලිහුනී
සුළඟ රළු වියලි බව සිත වෙහෙස ගෙන ........දුනී
යලි නොඑන වසන්තේ මෙයම දෝ නොම ....... දනී

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි