කවි කියවන්න ආව අය

Saturday, March 26, 2016

මානව හිමිකම්...!!

..෴මානව හිමිකම්෴..
.
හොවා... දස මාසයක් ගැබ රැක ගන්න හිත විරි _______________තිබුනට
දවා…      රතු ලේ කිරට හරවා කල හතක් මා _______________ දුන්නට
නිවා…    මුළු රැය පහන් කරමින් නිදි වරා උඹ ______________  හැදු මට
යවා…     හිරගෙට කරපු සැලකුම අගෙයි පුතුනේ ____________  අම්මට
.
මගේ…  ලස්සන ඔහේ කැප කර ලය පලා ආ ______________ කුරුල්ලා
යුගේ…  තාලෙට හැදී වැඩිලා අනාචාරයෙ _________________ගිහිල්ලා
අගේ…   නැති නෑඹියක් පස්සේ යන්ට යනවද _____________ හොයල්ලා
ඇගේ… ළය මැද මගේ කිරි වල සුවඳ එනවද _______________ අහල්ලා
.
වරක්…    තැලුවේ රිදෙන්නට නොව යවන්නයි යහ මග__________ කරා
තෙරක්.. නොපෙනෙන කුරිරු ලෝකේ නොවන්නයි උඹෙ නම_ __ ‘හොරා’
බිඳක්…   මානව හිමිකමක් කඩ උනා කිව්වද _______________  විනිසුරා
මවක්…   තරවටු කරාවිද තම පුතුට  ගනු බැරි ______________ නම් දරා
.
දොවද්දිත්… කිරි මගේ තනයක පිරුණු සෙනෙහස __________අපමණයි
දැවෙද්දිත්… මගෙ කුසේ ගින්දර දුන්නෙ බත් කට ___________උඹටමයි 
තලද්දිත්…   වේවැලෙන් උඹහට  රිදුනෙ මගෙ හද __________ පතුලමයි
අහද්දිත්…    පොලිසියෙන් මාගෙන් තැලුනෙ අසරණ ________ හිතතමයි
.
අංචි…  අදිනා නංගි හට පෙර නුඹම තරවටු කල _______________බවත්
පුංචි…  සන්දියේ සිටම අද තෙක්  මටම වද දී සිත ______________ දවත්
මංචි…  බිස්කට් කන්න පොර කා මල්ලි ගුටි කෑ හැටි ___________   වුවත්
සංචි… ගැහිලා පොලිසි ගියෙ නම් පුතේ හිරගෙයි උඹ___________  තවත්...

මහේන්ද්‍ර සූරියආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි

Friday, March 25, 2016

යළි ඇවිත්....!!

යළි අැවිත්
**********
දම දමා පැලැස්තර තුවාලෙට හදවතේ
වහන්නට දැඟලුවත් වෑයමෙන් දස අතේ
දරා යන බර හිසින් වෙහෙස ලයි උවනතේ
කිමැයි කිව නුඹ යළිත් අැමිණුනේ මගෙ නෙතේ

සමාජය තුළ අඳුර නොදුටු වියකදි එදා
ඉරේ සැඩ නැත හැඳින කැකුළු මලකිය උදා
නඳේ පතුරුවන සඳ නිබඳ අසළම රඳා
පලා යන බව නොදැන උනිමි සිහිනෙක නිදා

පුරා සඳ එකලු විද අමාවක හද වෙලයි
උදෑසන තිමිර නෙතු වසා කඳුළැලි ගලයි
හිතේ පවතින සවිය අළාමක ගුණ වඩයි
දමා ගිය ඔබ මෙමට අගේ නැති කෙල පිඩයි

වපරැසින් බැලූ කල ලොව නොමැත පිවිතුරු
මේ කුලක රැඳි අඳුන් වසාලයි සඳ තරු
දැවුණු අත්තටු සමඟ දිවිය නැතිවද හුරු
එපා තව එපා ඔබ නිතින වෙනු මැන දුරු

රීනා වාස් කිවිඳියගේ නිර්මාණයකි .
26/03/2016

ඇඟලුම් දිවිය...

ඇඟලුම් යුවතියක තම ආදර අම්මාට ලියා යැවු ලිපියකි.

--- ඇඟලුම් දිවිය ---

ඉතින් කොහොමද අම්මෙ සැප දුක සනීපද ................ අප්පච්චිට
අරන් දුන්නද එවපු මුදලින් බෑගයක් මගෙ ................... මල්ලිට
නෙතින් වැටෙනා කඳුලු සඟවා ඉඩ කඩක් ලැබෙනා .............විට
හොඳින් කියලා කියන්නේ බය වෙන නිසයි නුඔ ........... ඇසුවිට

උදෙන් අවදිව උයා ගන්නව දවල් රෑටත් ..................... එක්කම
කඩෙන් කෑවොත් ඉතුරුවක් නෑ සැරයි මාසික ............... වියදම
වදෙන් බේරී යන්න හිතලා කන්න බෑ දැන් .................. කිව්වම
බලෙන් හරි නුඹ කවනවා මට හිටියනම් තව ............... ගෙදරම

මැෂින් එක ලඟ වාඩි ගත්තම ඔලුවෙ ටාගට් ................. පුරවන
බනින්නට කට උල් කරන්මයි අපිව බලනා ලොකු ........... තැන
ලෙඩින් උන්නත් කවුද අහනව දාන්නේ ඔතනට ............. වෙන
වඳින් නැති එක විතරමයි අපෙ වේදනාවන් එන ................. දින

මගෙන් ඇහුවත් යාලු වෙන්නට නිතර දකිනා ........... කොච්චර
පුදන් නැතුවයි මෙතෙක් හිටියේ මතක් වී පෙම ............. ඉස්සර
බයෙන් ඉන්නට එපා යන්නෑ වනතුරා මෙය ................. ඉස්තිර
පෙමින් බැඳුනා ගිය සුමානේ විද්ද හින්දා ..................... මල්සර

ගමෙන් ආ දින ඉඳන් ගෙවනා දිවිය පිළිබඳ ................. ඇහුවම
වරෙන් හනිකට කියන හින්දයි නොකිය හිටියේ ඒ ........... හැම
නිකන් ගියොතින් මගුල දවසේ සනුහරේ කැත වෙයි ......... නම
කරන් තව ටික කලක් ඉන්නව අම්මෙ මේ ............... රස්සාවම

--- ශෂික මධුරංග කරුණාරත්න ---

Tuesday, March 22, 2016

මැකීගිය සොයුරු දම්..!!

මැකීගිය සොයුරු දම්...
1.
අප්පච්චී උණ්නු කාලෙ අපෙ මහ ගෙදරට
අයියා අක්කා එකතු කරන් බක්මහ නැකතට
හත්මාලුව අම්මා හදා කැවිලිත් එක්කොට
බිං තබලා කෙහෙල් කැනක් කෙරුවා මුල්ලට
2.
ලොකුඅක්කා අයිය මලෝ කෙලි සෙල්ලම් මැද
කජුඅත්තේ ඔන්චිල්ලා පැද්දෙමු එහි ඉඳ
දොමිතරිකිට රබන්හඬයි උණ වෙඩිලිත් බැඳ
පහල ඇලෙන් අපි නාලා අලුත් ඇඳුම් ඇඳ
3.
නොනගතයට ගෙදර ඈයො ගිය හැටි පන්සල්
අහර පිසින සුබ නැකතේ කිරි උතුරන කල්
අනුභවයේ ගණුදෙනු කොට සිත් සතුටේ මල්
ලොකු දෙන්නට බුලත් හුරුලු දුන්හැටි මනකල්
4.
පංචපෙතයි දාං අතයි මතකේ රැව් දෙන
කණාමුට්ටි ගහපු අයුරු නව අවුරුදු දින
සෙල්ලම් දැං ඇති ළමයිනෙ අප්පච්චිගෙ අණ
පිලිකන්නේ සතුටු කතා මතකයි අද මෙන
5.
අම්මා අප්පා නැති යුගයක දසවසකට පසු
එකට උන්නු සොහොයුරුදම කතරට වුනි හසු
පැල ඉනිවැට බෙදා ගන්න පතමින් රන් මසු
අපි ඔක්කොම එකතු වෙන්න දියයුතු මොන ඔසු
6.
මගෙ මැණිකෙයි පුංචි එකත් ඔබ එනතුරු බලා
වෙච්ච ඒවා හැම දෙයක්ම මං අමතක කලා
තෙල්ගානා නැකැත් දවසෙ අපේ දවස වෙලා
එදාවගේ එක් වෙමුකෝ අවුරුදු සිරි බලා

මංජුල හෙට්ටිආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

Wednesday, March 16, 2016

කලකට පසු ඉපදුණු ගමට ගියෙමි...

Princess Ruby

විසි වසරකිනි මා ඉපදුනු ගමට.............ගියේ
කිසි වෙනසක් නොදුටු අතු පැල තවම...තියේ
රිසි ලෙස සිසිල විඳගත් හැටි දිවා..........රැයේ
වැසි බිඳු ලෙසින් දුක් කඳුලක් තිබෙයි.....ළයේ

අසෙනිය වැසි වැටී තබ්බෝවම............පිරිලා
දැනුණා සතුට පෙර සේ හදවත...........ඇඳිලා
සොඳුරුම සිසිල විඳිමින් පාසැල..........ඇරිලා
මතකද උන්නු හැටි මගෙ නෙත් මග..හැරලා

කාලය ඉගිල ගියමුත් අප වෙන්.......කරමින්
ආලය දලු දැම්ම පෙම් හසුනක......ලියෙමින්
මාලය ඔබ දුන්නු සිහිවටනෙක......එතෙමින්
තාලය බට නලා වේ දෙසවන..........පිරෙමින්

වාන් දමන වැව් පාලම ඉස්................මත්තේ
හීන් සීරුවේ නුඹ මුව දැක.................ගත්තේ
ඈත් වෙලා ගිය මඟ වැරදී................ඇත්තේ
දෑත් ගිලිහුනත් ලෙංගතු කම............ගත්තේ

දුරු රට තනි වෙලා මගෙ ජීවිතෙ.........රුදුරූ
ඝනඳුරු ලොවක තනිවිය නොසිතූ......අයුරූ
ඔරුවක නැගී ඔබ ඇය හිනැහෙන...සොඳුරූ
හඬ මට ඇසෙයි ගීයක් සේ ගැයු.........මියුරූ

ප්‍රින්සස් රූබි කිවිඳියගේ නිර්මාණයකි.

නූතන කැදැල්ල

Priyalal Koggalage | ප්‍රියලාල් කොග්ගලගේ

නොපොවන පරිදි මිනිසෙකුගේ පියවි ඇස
තනනා ලෙස කැදැලි මතකද ඇසුව බස
නැහැ, වඩු කුරුල්ලෝ පෙනෙනා තැනෙක මිස
සාදා ඵලක් නැත දැන් ඔය කැදැලි යස

නැලවී උනුන් හා තබමින් හොටින් හොට
තල ඇට කවන සැටි දුටුවෙමි කිරිල්ලට
හෙළ කුල සිරිත් ලෙස අතිනත් බැඳුණු විට
කුල ගෙය කියා කිව හැකි වෙද කුලී ගෙට

අත්තිකාරමත් තුන් මාසෙක කුලිය
ගත් මුත් තවත් කපුටාගෙන් කෙණෙහිලිය
කුලී ගෙදර නැත කිසිදා කළඑලිය
කෙවිලිය සමඟ කොවුලා නෙක වැළපිලිය

සොයා ගොසින් තැන තැන පරඬැල් කෑලී
තියා එකක් මත එක පන් කොළ පේලී
වියූ කැදැලි නැත මෙ'දවස පිය සීලී
ඉරපන් කුරුල්ලෝ ඉරපන් කොස් ලෑලී

සේරුන් කිමිද පුරවාගෙන හොටෙන් හොටේ
වැලි කදු ගොඩගසයි මහවැලි ඉවුරු වටේ
මහියංගණෙන් අහුලාගෙන කැටෙන් කැටේ
ගඩොලුත් වැලිත් උඹ ගෙන ආ යුතුය පිටේ

තට්ටු දෙකට හැදුවත් දැන් මදි හිතට
රට්ටු නැවෙන්නෙත් පෙනුමට සහ උසට
කිට්ටු පළාතක නැති තරමට ජයට
හෙට්ටු නොවී ඇදපන් සැලැසුම තිතට

පිල් ටික උකස් කළ හැක නිල් මොණරෙකුට
එහෙමයි කියා මොනවද ඇත්තේ උඹට
නොවඳින වැඳුම් වැදලා හරි බැංකුවට
ණයක් අරගනින් බඩු ගන්නට ගෙයට

දවසෙන් දවස ණය සහ එහි පොලී පත
ජැක්ගේ මැජික් මෑ වැල මෙන් වැඩෙනු ඇත
එබැවින් කුරුල්ලෝ ඉගිලී කෙතින් කෙත
තව වී කරල් රැස් නොකළොත් හෙටක් නැත

රට උළු සෙවිළි කර අල්ලා ටයිල් කැට
බිත්ති වැසෙන්නට සායම් ඉලූ විට
තණකොළ පිඩැලි ඇල්ලූ ගෙමිදුලක සිට
සොඳුරිය සමඟ ගෙවැදිය හැක අලුත් ගෙට

ප්‍රියලාල් කොග්ගලගේ කිවිඳුන්ගේ නිර්මාණයකි.

හොටෙල් කාමරයක ඇඳක් කතා කරයි..!

,,, හොටෙල් කාමරයක ඇඳක් කතා කරයි ,,,

කොහෙන් පටන් අරන් කොහොම මේවා ලොවට කියනු ........ කෙසේ
හොරෙන් හොරෙන් ඇවිත් මෙහෙට විඳගන්නව අමුතු ...............රසේ
හෙමින් හෙමින් කරන කියන දේවල් මට පෙනේ ....................ඇසේ
බයෙන් බයෙන් මුලින් පසුව බලන්නෙපැයි තියෙන ..................විසේ

දන්න කියන නිරතුරු එන ගිය සතියෙත් ආ... ....................... යුවලක්
මෙන්න මෙහෙම කියනු ඇසේ ළඟදිම වෙනවා ......................පවුලක්
දෙන්න තියෙන අවසන් දේ දෙනතුරු නෑ මට .......................නිවනක්
ගන්න ඉතින් මොටද පමා අද ඒකට හොඳ ..............................දවසක්

සතියට කීයක් ඉවරද ඔයාට නම් ගානක් ..................................නැති
රතියට හුරු වුණු දා සිට කොච්චර මං බිව්වද ............................පෙති
මැණිකට නිසි වටිනාකම අරගෙන ආවට නුඹ ............................නිති
හනිකට යමු දරු දෙන්නගෙ පන්තිය දැන් ඉවරත් ...................... ඇති

ලස්සනකට පිළිවෙලකට ඉන්න වෙහෙස වුනත් ......................නිතර
ගැස්සෙනකොට පැද්දෙනකොට අපිරිසිදුයි වටේ ......................හතර
එළිවෙනකොට එක දවසක් නැකතට ආ යුවළ ......................... අතර
හරි හරියට කතා ඇසෙයි පතිවත ගැන නොකර ........................නතර

වයස වුනත් කඩවසම්ය සල්ලි හොඳට ඇත ............................වාගේ
හවස අරන් ආපු කෙල්ල වයසෙම මිනිහගෙ ............................ දූගේ
නිවස බලා යන්න ළඟයි හඬ මිස වැඩ නෑ .............................. ඈගේ
දවස නිමයි දිවි ගෙවන්නෙ විකුණ විකුණමයි ...........................රාගේ

අලුත් වැඩක් දැනගත යුතු අපෙ ලොක්කන් හදා ....................... සිදුරු
සළුත් පිළිත් නැතිවෙන හැටි බලයි තැනක ඉඳන් .......................අඳුරු
මලුත් ගලුත් ඕන එකක් මම රැක්කා නොගා ............................ අඟුරු
යලිත් යලිත් මෙහි ආවොත් වගකීමක් නෑනෙ ...........................මිතුරු

ශෂික මධුරංග කරුණාරත්න  කිවිඳුන්ගේ නිර්මාණයකි .

ඉරණම...!!

,,, එකට මිය යෑමෙන් පසු එකට හමුවුණු හතර දෙනාගේ පිළිසඳර ,,,

බුදුන් ඉපදුණු අපේ මව් බිම මෙහෙම කම්පාවක් ................ කළේ
නුදුන් හින්දද අභය දානය සතුන්හට තිරිසන් ..................... කුලේ
යොදුන් ගානක් සුවඳ විහිදී පිපී මල් සෙනෙහස් ...................විලේ
රිදුන් දුන්නත් මතක් වී මගෙ පැටව් දැන් කිමදෝ................. ඵලේ

නුඹට ඕවා මතක් වූවත් මගේ ඔලුවට එන්නෙ ....................මෙව්වා
රටට පෙනුමට ගෙනා ඇය හා සෑමදා ගෙයි පහන් ................නිව්වා
බහට කන් දී බැංකුවල තිබු රහස් අංකත් ඊයෙ .................... කිව්වා
රවට ගෙන හද බිරිඳවත් ගෙන කවුරු යාවිද මසිත ...............සෙව්වා

මවගෙ ඇයගේ අදහසක් මත හදා සැලසුම් .................... තිස්සෙම
දිවගෙ දිව ගා සිටියමුත් මා ගියේ නිලතල .......................පස්සෙම
අපගෙ ලොක්කට දෙන්න කියලා රාජකාරිය ...................අස්සෙම
නුඹගෙ නැති දොස් මවා පා දා ලිව්වා පමණයි ................ පෙත්සම

තෙවන පුතු හා පවුල වෙත මගෙ තිබු නමුත් පෙම ...............ධාරක
දැවෙන ගින්දර නිවාලන්නට ගියේ වැරදිම ..........................පාරක
නිවනෙ යන්නට උජාරුවකට අරන් සතියකි .................... කාරෙක
ලබන අල්ලස් වලින් සිටියේ ගෙවන්නයි ණය .................... වාරික

වැඩැක් නෑ අප කතා කරලා දුක් වුනත් තව මේ ....................... ගැන
පවක් වෙන්නැති සසර කළ ලොකු ඉවර වෙන්නත් ඇති ............ පින
නිමක් නෑ ලොව එකට ඉඳලා කපන වලවල් වෙන ..................වෙන
එකක් කිව හැක මෙහෙම ගියොතින් වැලලෙනවමයි දැන ..........දැන

ශෂික මධුරංග කරුණාරත්න  කිවිඳුන්ගේ නිර්මාණයකි

Monday, March 14, 2016

බුදුම අයියල .. !

බුදුම අයියල ……
______________

විකට් ගත් සේ ඇටත් ගස්ලබු
ගම්මිරිස් වී නටන්නේ

බකට් වැටි දා ගිලුන කරටිය
වරල් ඉහ කැපි පිදෙන්නේ

ටිකට් ඇදිලා විරිත්තන් කහ
කෙහෙළ් ගස්ලබු දිලෙන්නේ 

පැකට් අස්සේ පොළොස් සුදු වී
කහට නෑ මයි කියන්නේ

***

'කරවලේ තෙත් නැහැනෙ පුස්
මිස් ' මැස්සනුත් නෑ බලන්නේ

විටමුලේ රැස් පුරෝගෙන දත්
හපය සඟවන් ගයන්නේ

බඩවැලේ පනුවොත් පිනුම් පැන
සරුවතේ රහ දොඩන්නේ

මඩවලේ ඇයි නාන කපුටෙක්
නැතිද හොරගල් රකින්නේ

***

රතුම රතු වුව සීනි ගෝනිය
කළු කූඹි දුව ඇදෙන්නේ

බුදිම කොයිහැටි වුනත් බඩකට
පොකට්ටුව හිස් හඬන්නේ

බුදුම අයියල හක්කෙ රැස් ලිහ
බොක්කෙ දඩ මස් රකින්නේ

පොලම පීරල ගාට ලා ආ
මල්ල කට මැත දොඩන්නේ

මුදූ රේඛා කිවිඳියගේ නිර්මාණයකි. උපුටා පල කරන ලදී.
2015/09/15

අයාලේ ගිය පුතුට...!!

අයාලේ  ගිය  පුතුට  ......

මට  අහිමි  වූ  සියලු  දේ  වලලමිය  හද  ....................ගැඹුරේ
නෙත  කඳුලකට  නිතර  දොර  හැර සිතැඟි   ළඟ ...... වැතිරේ
කිසි  දිනෙක  හිරු   නොපායනු  ඇත  අපට  එක ........ අඹරේ
නුඹගෙ  ලොව  කලඑළිය  වේ  නම්  සිටිමි  මම .......... අඳුරේ

උදම්  වූවත් නුඹේ  සෙනෙහෙන්  රැවටිලා  ඇත  ..............මම්
රිදුම්  දුන්නත්  දැවී  සියොළඟ  වයිර  ...........නොකරන් නෙම්
අසන්නට  වූ  සියලු  නින්දා  ගලක්  සේ ..................... උසුලම්
පහන්  සිතකින්  නැගෙන  හැම  දින  නුඹට  සුබ ...... පතනෙම්

සාප  කරනට  නොහැක  නුඹෙ  පන  අයිති  මට ......... බැවිනී
පාප  සිතුවිලි  මනස  අඩපන  කෙරුවදෝ  ................නොදනී 
සෝක  නුඹ  ගැන  වැරදි  පාරෙයි  යන්නෙ ඔය  ....නොපෙනී
ඊට  කිසිවක්  නොකළ  හැක  අසරණව  මම .............. තැවුනී

කැප  කරන්නට  තවත්  කිසිවක්  නොමැත  මා  ............සතුවී
ගත  ඇතත්  සිත  අඩපණව  ගොස්  සිටිමි  අද  ..............ලතවී
දුටුවෙ  නම්  ඔය  වෙස්  මුහුණ  තුල සිටින  රුව  ..........සැඟවී
මේ  තරම්  රැවටෙන්න  කැමතිද  ජීවිතය  ...................බොඳවී

බියකරුය  හෙට අපැහැදිලි  ලෙස  බොඳ  වෙලා ........ සිතුවම්
බුර  බුරා  නැගි ගිණි  ගොඩක  වෙද    සිසිලසක්  ....මොනයම්
වැරදුනා  නොව  වරදවා  ගත්  බවම  මට ............... හැඟුනෙම්
බිඳුණු  දා  රැකි  සියලු  දේ  බැහැ  සොයන්නට  ...........පිළියම්

මංගලිකා  පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි.
14 /03 /2016 .

Saturday, March 12, 2016

සඳවතිය, මගේ හද ඔබේ නොවෙයි!!

~සඳවතිය , මගේ හද ඔබේ නොවෙයි ~

ඔච්චම මොකෝ සඳවතියේ ලොවට..... හොරා
කොච්චර දුරක් ආවද ඔබ ගුවන........... සරා
මෙච්චර පාන කෝමල යස අනඟ........ නුරා
තිස්සෙම හිනා කෙළෙසද මම ඉන්නෙ .... දරා

කව්ළුව ළඟම ඉඟි බිඟි පා කියන ...............කතා
සිත්තම වගේ හිත ළඟ රෑ රසය ...................ඉතා
මත්වුණු හිතුම් හද රවටයි හිතා ...................මතා
ගෙත්තම වියන ඔබ ගැන නැහැ ඉන්නෙ....... පතා

හමුවුණු විටදි පෙම් බස් මුමුනන්න...... එපා
එකහිත ඇත්තෙ ඉන්නෙම් මම පිටුද.... නොපා
දරනෙමි දුකද විඳිනෙමි නිති දෙතොල... සපා
දෙන්නද කෙළෙස හදවත මගෙ දෙකට ... කපා

මා හට දැනේ ඔබෙ සෙනෙහස සුවඳ දිදී
පෑ මුදු සෙනේ යළි සිහිවේ හදම ....රිදී
බෑ මට එන්න මිය ගිය පේමයෙන් ..මිදී
නෑ හිමි වෙන්නෙ තවමත් හිත එයින් විඳී

ප්‍රියන්ති හංසමාලි කිවිඳියගේ නිර්මාණයකි.

විඳවීම විඳිමි...!!

......විඳවීම විඳිමි......

සදාතන නැති නමුදු අතීතය..................සුන්දරය
මියේවිද මියෙන තුරු ඒ මතක........ .....මන්දිරය
නෙතේ සිතුවම් අඳියි කාළයෙහි............අන්දරය
පිදූ දිය බිඳට වුව ලැබුවේම...................ගින්දරය

අද ඊයෙ දිවි ගමන හඟවන්නෙ.......වෙනසක්ය
සෙනේහය ආදරය හැඟුමක් ම..........පමණක්ය
යළි එ,දෙස බැලුවාම සැබැවින්ම....බොරුවක්ය
දඬුවමට දඩ ගෙවන වියපත්ව.............හිඳුමක්ය

නොකියාම උන්නේය සඟවාන.........මතකයන්
හැමදේම නිමවේවි දැවුනාම..............චිතකයන්
සැඟවේය නොදැනීම දුර ඈත............ලබැඳියන්
විඳවීම තනිවීම දිවියේම....................උරුමයන්

ආදරෙන් බැඳුනාට පපුතුරේ..........සෙනෙහසින්
කෝ එදා පැතු පැතුම් බොඳවෙළා..මිය..ගොසින්
ජීවිතය දකිනවා සිත නිවන..................අදහසින්
ආ මඟෙහි නැවතීම විඳ ගනිමි..............මදහසින්

හඬවනා රිදවනා මතුවනා...................සිතුවිල්ල
දවනවා හදපුරා ඇවිලෙනා.................ගිනිදැල්ල
ඉපදිලා මියෙනවා දඟලනා.................දැඟලිල්ල
හමුවෙනා තුරු මෙමා සොයනවා.......සැනසිල්ල

අනුර ගුණතිලක කිවිඳුන්ගේ නිර්මාණයකි.
21/02/2016

රන් මුදුවට වැ‍ටුනා කඳුළු බිඳක්..

**රන් මුදුවට වැ‍ටුනා කඳුළු බිඳක්**

නුඹ දුර ගොසින් ඇත අද නොකරම ....සද්ද
හී සර ඉකි ගසයි මින්දද විත් ..............විද්ද
ඔහු අත පතන විට මා ගැන දුක........ නැද්ද
සොඳුරිය නමින් ගලවමි මංගල ..........මුද්ද

අතිනත් දරා දෙගුරුන් වැඳ ගිය. ........දිනය
සවනත් පුරා වැකුනේ නුඹගේ .........ගුණය
වෙනකෙක් ඇවිත් නුඹවෙත පෑ විට...ධනය
ගුවනත් දෙදරුවා දිවියට වැද .........හෙනය

පුරහඳ දිලේ මතකය පාරයි.............. වින්ද
තරු කැට පවා ඔච්චම් කරනුයෙ .......මන්ද
සතුටෙන් පිරුණ අපෙ පෙම් විජිතය...බින්ද
දෙවියනි අහිමි කරලුවෙ ඇයි මගෙ ...නින්ද

අත ගෙන නව ලොවක් තනනට හදන .මිත
භාරයි නුඹට ඇය මවෙතට පිදුව .........හිත
එනමුදු තබමි වදනක් නුඹෙ සවන .......මත
දිනයක නුඹද මා මෙන් පසු තැවෙනු ...ඇත

ඉශාර වනසූරිය නිර්මාණයකි.
21/02/2016

පුතේ හෙට කමු බත් කටක්...

Ishara Wanasuriya
28 February 2016

පුතේ හෙට කමු බත කටක්...

කන්න බත් පත හදාගන්නයි පාර අයිනේ පේ .....................වුනේ
ඉන්න බැහැ තව තවත් ලතැවී එන්න එන්නම රෑ .................උනේ
ගන්න බැරිවද මල් වැලක් අද බිඳක් මා හට පා.. ...............සෙනේ
යන්න යයි නුඹ මක්කරන්නද ඇහෙන් කඳුලක් .............බේරුනේ

හයක් හතරක් නොදන්නා පොඩි පැටවු දෙන්නා ගෙයි .........ඉඳන්
බයක් දන්නැති කමින් හිනහෙයි දෑත් පොඩි එකිනෙක ........බැඳන්
ණයක් ගන්නට කෙනෙක්වත් නෑ ගියත් අත් එක්කොට ......වැඳන්
පයක් නැති කම මිසක මහ මඟ ඉන්නෙ නෑ මෙලෙසට .......ඉඳන්

කෙසේ යන්නද ගෙදර පැත්තේ පුතේ කන්නට නෑ ............කියා
මෙසේ වන්නට කරුණ කිවමැන දෙවියනේ කොතැනද .......ඔයා
දොසේ කිමදැයි කියා සිතුවිට අත් කොනින් දෑසම.............. පියා
ඇසේ කකියන කඳුළ වැස්සේ මට හොරෙන් සැඟවී ...........ගියා

කන්ද උස ලොකු හීන නැතිවට තිබුන නම් සහලින් .........මිටක්
බින්ද හරි පුරවන්න හැක කුස කියා සිතුවත් එය .............තුටක්
නින්ද නැති ‍රැය අරන් එනවා අළුත් අරමුණු ඇති ..........හෙටක්
වින්ද දුක අමතක කරන්නට පුතේ හෙට කමු බත් ..........කටක්

ඉශාර වනසූරිය

අන්තර් ජාලයේ තිබූ , පාදයක් අහිමි අසරණ පුද්ගලයෙකු මල් වැල් විකුනා ගත නොහැකිව මහ වැස්සේ දෙනෙත් පිස දමමින් මහමග වාහනයක් අසලින් ඉවත්ව යන ඡායා රූපයක් නිමිති කරගෙන  ඉශාර වනසූරිය කිවිඳුන් විසින් ලියන ලද්දකි.

කිරි සුවඳ අරන් එන්න...

Rohini Jayanthi Liyanage
1 March 2016

෴ කිරි සුවඳ අරන් එන්න෴

ඇහල මල් පෙති වගේ හිතට නිය අණිනවා
අම්මගේ කිරිසුවඳ සුළඟ මග හරිනවා
මට වගේ මල්ලිටත් හුගක් දුක දැනෙනවා
ඇස පුරා කඳුළු මල් පිපි පිපී මියෙනවා

අහස මල්වෙඩි දමා නෙක රටා මවනවා
ඒ මැදින් පොදවැස්ස වැටුනොතින් තෙමෙනවා
වීදියම හැඩ කරන් පහන් එළි දිලෙනවා
මිරිගුවත් අපි අපේ ඇස්වලින් දකිනවා

අපුලකින් බල බලා පියවි ඇස් දුවනවා
පිසලන්න බැරි කඳුළු තෙවනි ඇස දකිනවා
එළිවලට බිය වෙච්ච හිත හුගක් ගැහෙනවා
හඩාපන් මල්ලියේ අපේ දුක වටිනවා

අලවනා බිත්තිවල දුක කඩා හැලෙනවා
අපසොයා හෙටම දිව ඒවි යැයි සිතෙනවා
හෙටත් ඉර පායද්දි කිරි ඉද්ද පිපෙනවා
මිලින මල් නටුමතින් පොට්ටු තව හැදෙනවා

රෝහිණී ජයන්ති ලියනගේ කිවිඳියගේ නිර්මාණයකි

ඉංදියාව....

Arya Gamage
2 March 2016

චොප්රා ප්‍රියංකා නිළියගෙ වත කියනා
දැක්කා පුවත පෙරදින කව්දෝ ලියනා
ඔස්කා සම්මාන උළෙලට ඇය අඳිනා
වස්ත්‍රා භරණ මිලියන දහයලු වටිනා

රහසක් නොවේ දුප්පත් කම භාරතයේ
දහසක් දනන් මහමග සිඟමනේ ගියේ
පොහොසත් උන් ටිකයි සහසක් හාමතයේ
සෙවනක් හිසට නැති දන ඇත සඳේ ලියේ

කුසට අහර නැත චිත්තර පටි බලතී
නළු නිලියන් දැක්කම උන් බඩ පිරෙතී
තනවා දෙවොල් දෙවියන් සේ වැඳ පුදතී
නූගත් දනන් බොහො සේ දඹදිව වසතී

ඉන්දිය සයුරෙ අයියා සේ හැසිරෙන්නේ
උන්ගෙම දරුවො මග නහිනවා කුස ගින්නේ
ලිව්වම මෙකවි දැක සමහරු නලියන්නේ
සිංහල ලොක්කො ඇයි පසු පස ලෙවකන්නේ

ආර්ය ගමගේ කිවිඳුන්ගේ නිර්මාණයකි

ඇය...!!!

Arya Gamage
2 March 2016
ඇය...!!

විටෙක නළලත සිපී මව මෙන් සෙනේ තව වැඩි උනා වේගේ
සයනයේ පෑ අනග රැගුමන් හුරුවුනේ සුර ලොවෙන් වාගේ
දුකේදී යෙහෙළියයි සනසන සැමට නොලැබෙයි මෙවැනි දීගේ
පියඹ නුඹ ඇයි දෙපා වැන්දේ නෙතේ කඳුලක් පනී මාගේ

කුරුළු ජෝඩුව විලස සයනේ සෙනෙහසින් හද වැතිරිලා
තුරුළු කරගෙන දෙඩු වදන් යයි දෙඅදරින් ගඟ ලෙස ගලා
කෙවිලියක නැගු කූජනය වන් මිහිරි තෙපුලින් සනසලා
නා රජුන් වද රකින උරඟන සේ නිදයි ගත දැවටිලා

වරෙක දිවයුරු සේම සැඩ වෙයි තව විටෙක දදරද ලෙසේ
සිසි කිරණ විහිදුවයි දසතම නිල් විලෙහි පිපි පියුම සේ
ගතෙහි රුධිරය කිරට හැරවුයෙ කෙලෙසදෝ නොදනිමි මෙසේ
මවද පියඹද යෙහෙලියද පෙම්වතිය නුඹ හද තුල වෙසේ

ආර්ය ගමගේ කිවිඳුන්ගේ නිර්මාණයකි

රබර් ගසක පෙම...

රබර් ගසක පෙම...

මමත් පුංචී නුඹත් ළදැරී එදා ඉදලයි පෙම් කළේ
අම්ම සමගින් වල් නෙලන්නට රබර් වත්තට ආ වෙලේ
තුටින් හැකි ලෙස සෙවන දුන්නා ගිම නසන්නට දාවලේ
ගැයූ කවිපද වලට අත්තල් මගෙනි මතකද ඒ් කලේ

ලැමද ඉස්සී විය ලමිස්සී පාසලෙන් එන අතරවාරේ
සැමට රහසේ මවෙත ආවා ඔහුගෙ අතගෙන නැතිව චාරේ
සිතද රිදුණා නිතර යද්දී බයිසිකලයේ නැගිල පාරේ
බලා සිටියා හිතේ මුල්ලක සගවගෙන මගෙ පෙමෙහි සාරේ

තනි කැමැත්තට දීග ගියදා මහ රැයේදිත් ඇහැරිලා
සඳපාන නුඹ වෙතට එන්නට මගේ අතු එහෙ මෙහෙ කළා
ඉවෙන් වාගේ යළිත් ඒවිද සිතුන හින්දම මග බලා
සිටියෙ වසරනෙ ගමට ආවනෙ දරුවකුත් කුස ඹසවලා

මගේ අහිතක් නැහැනෙ සොඳුරියෙ හිමි නොමැති නුඹ රැකගමී
කරපු දඟනම් ඉවතලමි යළි කිසිදු වරදක් නොසොයමී
රන් රිදී නැත දිවි ගෙවන්නට තරමකින්වත් අතදෙමී
කැකෑරෙන පෙම කිරිවිලස අද පොල්කටුව වෙත එවනෙමී

ශ්‍රියානි පුෂ්පකුමාරි කිවිඳියගේ නිර්මාණයකි
03/03/2016

ඔබටමයි ..!!

Priyanthi Hansamali
3 March 2016

ඔබටමයි..

නිතින හමුවෙන නෙතින දොඩමළු වෙන්න ආසයි මට... ටිකක්
වඳින දෙවොලෙහි දෙවියො නැතිවද හදම බැතිබර වෙයි හුඟක්
දකින සිහිනය මතුද ඔබ ගැන ලංව ඉන්නට හැක ........ටිකක්
මගෙම වෙනවද දුරක යනවද තැනිව ඉන්නට බැහැ ..... දුකක්

දුකද ඔබමය සතුට හිත තුල නොමැත වෙන අයෙකුට .....ඉඩක්
හමුව වෙන්වන ලොවෙහි ඉතිරව ඉන්න හැකිවෙද එය ...සැකක්
කඳුළු බිඳුවක සදා සුසුමක උරුම හිමිවෙද මට......... සැපක්
අහසෙ බැබෙලෙන සඳට පෙම් බැඳ ඉකිය සඟවමි නැත... සුවක්

කටොර දිවිමග සිනහ ඔබමය සතුට ඉතිරේ තුති....... නොවක්
මියෙමි නැති කල දිවිය පල නැත ඉතිර වෙයි ලෙස සක් සුදක්
සුවෙනි ඔබ ලඟ තිලොව ජයගමි වේය ඔබ මට නිල් මිණක්
සුහද අපි අපෙ සසර භවයෙම වෙන්ව ඉන්නට බැහැ බිඳක්

ප්‍රියන්ති හංසමාලි කිවිඳියගේ නිර්මාණයකි.

කඳුළක් නැද්ද මගෙ පුතු ගැන..!!

Rohana Rajapaksha

කඳුළක් නැද්ද මගෙ පුතු ගැන නුඹගෙ නෙතේ..!"

දරුවා විදින දුක බැහැ ඉවසන්න හිතේ
දොස්තරවරුන් කී දෙය සලකන්නේ නැතේ
ඔහු හට ඒඩ්ස් නෑමයි සහතිකම වෙතේ
කඳුළක් නැද්ද මගෙ පුතු ගැන නුඹගෙ නෙතේ

පුතුගේ පියා මිය යැදුනා දිනේ පටන්
ඔහුහට අකුරු උගනන්නට කරපු සටන්
යන යන පාසලේ පුටු නෑ නිතර හිටන්
දරුවන් සිටින මව්පියො කුඩුකේඩු නටන්

ඉගෙනුම කුමක් දැයි පැහැදිලි කරනවද
ලෙඩවුනු සිසුන් හට ඒ අයිතිය නොමැතිවද
දියුණුය කියන ඔය මිනිසුන් මොන යුගෙද
නුඹලගෙ දරුවො ගෙනියන්නේ කොතනටද

මව යැයි කියන්නේ ලොව උත්තම පදවී
දරුවන් සැවොම එක වාගෙයි සෙත් පතන කවී
මෙි වගෙ දෙයින් මතුවන්නේ සිත් ගැබෙි අවී
මතු බුදු කියන නුඹලාහට එය නොවෙයි සවී

බුදු හාමුදුරුවෝ නිතරම ගිලෙනුන් බැලුවා
මනසට සිසිල් ඔසුවකි බණපද සිත සැදුවා
අන් ආගමික නායකයන් දරු සෙත යැදුවා
නුඹලා මොන ආගමෙද හදවත කළ කිරුවා

නුඹලගෙ පුතුන්හට දෙවියෝ පිහිට වුවා
මා හා පුතුට කවුරුත් නැත දුකකි දවා
සිප්හල තුලහි කාවැදි තිබු දහම පවා
විකුණුවෙි කවුද කියපල්ලා හොදට නවා

රෝහණ රාජපක්ෂ කිවිඳුන් විසින් 2016 මාර්තු මස කුලියාපිටියේ පාසලක් අහිමිවූ දරුවාගේ සිදුවීම අලලා කරන ලද නිර්මාණයකි.