කවි කියවන්න ආව අය

Thursday, November 15, 2018

කළු කම්බිලි 16 අවසාන කොටස

කළු කම්බිලි 16

දරුවා ලැබුණි හරි හුරතල් චූටි පුතෙක්
කාලය ගෙවුණි කොළුවා  දැන් ලොකුයි ටිකක්
සියපුතු බිසෝ හමුවේ පැවසීය දිනක්
අම්මේ බඳිමි මම මැණිකේ නොදී දුකක්

මොනවද පුතේ මේ දොඩවන බහුබූත
ඇය ගැහැණියකි දරුවෙකු ඇති අවජාත
මව කෑගැසූ මුත් විලසට අවිනීත
පුතු දිගු කළා අසරණියට තම දෑත

සැපතෙදි ළඟින් හිඳ ව්පතෙදි හැරයාම
පෙන්වා නැතිය  මට මා දත් බුදු දහම
දරුවට පියා වී වෙනසක් නොකරාම
මම ඔබ රකිමි ආදරයෙන් පෙරසේම

දෙවියෝ අදහන්නෙ මිනිසුන්  විතරමය
දෙවියෝ  පුදන්නෙත් මිනිසුන්  විතරමය
දෙවියෝ කියන්නේ පිලිරූ විතරමය
දෙවියෝ සිටින්නෙත් මිනිසුන්  අතරමය

ලොකුපුතු ගියා දුරු රටකට මැණිකෙ බැඳ
රැකියාවකිය දියණිය ලොකු තැනක හොඳ
පිළිකුල්මය උන්ට දන්නා කලෙක හිඳ
දේවාලයයි දුම්මල වල පුළුටු ගඳ

බීලම ඉදිමිලා දියවී අක්මාව
මරුවා ගෙනගියා වැහැරුණු සයිමාව
දරුවොත් හැරගියෙන් ගම හා අම්මාව
තනිකම බිසෝ වටකෙරුවා නොපමාව

ගැමියෝ වැඩකරපු කැත්තේ උදැල්ලේ
පොළොවේ වැළලිලා දැන් පස් පිඩැල්ලේ
ඇත්තේ පරපුරකි නව ගම් ගොඩැල්ලේ
මැස්සෝ වසති දේවාලෙත් නිදැල්ලේ

වැළඳී අංශබාගය දැන් බිඳී බලේ
වැතිරී බිසෝ ලතවෙයි ලණු ඇඳෙහි පිලේ
කඹුරණ දායි කළු කම්බිලි උදව් කළේ
අරුණය ගායි තෙල් තාමත් උකුල් තලේ
..........................නිමි...........................ශාරා

පුරහඳ ගෙවීගෙන යන සේ අමාවකින්
කළු කම්බිලිද සැරසූවෙමි නිමාවකින්
වරදක් ඇතොත්  පිළිගෙන මා සමාවකින්
හමුවෙමු යළිත් ළඟදිම රස කතාවකින්

කළු කම්බිලිය හා මෙතුවක් ළඟින් සිටි
අමතමි සැවොම තව එක වදනකින් කෙටි
මා කවියෙකිය පොඩි හෙබි සිරුරකින් මිටි
ඔබෙ වචනයක් මට මහමෙර තරම් වටි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment