කවි කියවන්න ආව අය

Monday, February 29, 2016

දයාබර මරණය...!!!


-දයාබර මරණය

තැලෙන පෑරෙන මගේ හද කෙත සැනසුමේ බිජු වපුරලා
දෙනෙත් පුපුරා ගලන ලෝ දිය අනේ සදහට වියළලා
යළිත් කිසිදා නොඑන ඈතක මගේ පණ නල සඟවලා
දයාබර මරණය ඉතින් මගෙ ලොවට එනු මැන පියඹලා

වඳින වඳිනා දෙවොල හිස මත වැටී මා හෙම්බත් කළා
තනිව හඬමින් සැමට සිනහව පිදූ එක වරදක් වෙලා
අනේ තව බෑ දරන්නට හද යාවි සත් කඩකට පළා
ලබැඳි මරණය එන තුරා නුඹ ඉන්නවා මං මග බලා

ගිනි වැදී මගෙ ආත්මය දැවි දැවී අළු වන මොහොතෙදී
සීත පිනි දිය පොදක සිසිලස සොය සොයා දිව ඇත ඇදී
කිමද මරණය ගාට ගාටා ඉන්නෙ මේ හැටි වද දිදී
අනේ සැණෙකින් එන්න ආසයි ඉන්න නුඹෙ තුරුලට වැදී

සොඳුරුමැයි බද බදා අල්ලා කිසිත් නැති අත් හිස් මගේ
සෙනෙහසින් වට කරන් සිටි වුන් කිසිවෙකුට මා නැත අගේ
අඳුරුමැයි මගෙ ලොවම සදහට අමාවක ඇවිදින් වගේ
එකම තරුවත් නිවුණි මරණය එන්න මගෙ සුසුමන් දිගේ

රහසිනුදු පව් නොකළ වග දෙවියනි බලන් පොත පෙරළලා
රජුට වෙස්සන්තර තරම් නැති නමුත් හැම දේ කැප කළා
අනේ දෙව්දත් පරපුරම විත් මටම ගල් කුළු පෙරළලා
උන්ට හිනැහී ඉන්න මරණය මාව අරගෙන යනු පළා

තරංගා ජීවනී කිවිඳිය 14 June 2013 දින ලියන ලද කවි පන්තියකි .

No comments:

Post a Comment