කවි කියවන්න ආව අය

Monday, February 29, 2016

කිවිඳු මළ දා


කිවිඳු මළ දා...

මළ සිරුර රැගෙන ආ පෙරහැරේ ඝෝෂාව
ඇද හැලුණි ඒ අතර හීන් පොද වරුෂාව
ඇසුණු හොරණෑ හඬට නැතිව කිසි ආශාව
නොවැටහුණි ජීවතුන් කතා කළ භාෂාව

ජීවතුන් සියලු දෙන සිරුරු කඳ වළ දමා
අවසාන කටයුතුද කළේ අද දින තමා
සවස් විය, අඳුරු විය සඳ මොකද තව පමා
නොදැන සිටියෙද එදින අමාවක බව සැමා

දැල්වෙමින් තිබුණි එහි ඉටි පහන් දෙක තුනක්
සොහොන මත දිස්වුනා මල් වඩම් කිහිපයක්
ඉටි පහන් නිවුණු පසු ඇරඹුණේ ඝණ'ඳුරක්
සොහොන් බිම පුරා විය පාළුවක් , තනිකමක්

සොහොන් බිම අසල වූ අඳුරු වූ ගස් තුළින්
ගලා ආ බකුසු හඬ තුනී වී මඳ නළින්
තිගැස්සුණි මොහොතකට ඇසූ මුත් එය කලින්
සොහොන් මත පුවරු විය මළවුන්ගෙ නම් වලින්

ගත සැතපු තැන සිටවු ගල් පුවරුවක් මතේ
ලියැවිලා තිබු කවිය තිබුණි කවි ලියු පොතේ
එහි යමක් ලියන්නට කවි සිතට තව සිතේ
එහෙත් පන්හිඳක් නැත මැරුණු කිවිඳුගෙ අතේ

මා ඇ කු
21.07.2012

මාර්ක් ඇන්තනි කුමාරගේ කිවිඳුන් ගේ නිර්මාණයකි .

No comments:

Post a Comment