කවි කියවන්න ආව අය

Friday, February 26, 2016

ගවලෙනේ කුමරු වෙත!

ගවලෙනේ කුමරු වෙත !

ගවලෙන තුළේ ඉපදුණ සුර කුමරාන
දුටුවෙමු පහන් එළියෙන් ඔබෙ පින් මූණ
සතහට පිහිට වෙන නිතරම පෙම් පාන
ඔබහට ලියමු බැතියෙන් කිතු සමිඳාන

ඝන්ඨා නදින් පල්ලියෙ මැදියම් රෑම
බැති ගී හඬින් තුටු වූවෙමු අපි බෝම
ඔබ ළඟ දනින් වැටි වැටි යැදි මිනිසාම
කළ මේ හදිය නොදනිද ? හිමි ඔබ තාම

සාමයෙ කුමරුනේ කිය කිය මුනින් දපා
වැන්දට සමිඳුණේ මිනිසුන් ඔබේ දෙපා
සමරා උපත ඔබෙ මත්වී දෙතොල් හපා
මැරුවා අපේ සොහොයුරු කැළ බෙල්ල කපා

සාමය උන්ට පමණද? සතුනට නැද්ද?
තාමත් දැනෙනවා ලේ ගඳ මර සද්ද
අපෙ මස් කන්න ඔබ හා කිව්වද නැද්ද?
සමිඳේ ඔබෙන් ඇහුවට වරදක් ඇද්ද

සමරමු මෙදා නත්තල අපි මතින් තොර
දුටුවෙමු වදන් ඇලවුණු සරු අරුත් බර
එනමුත් අනේ අසරණ අපෙ දිවිය තොර
කරලා මොටද අත් හැරියට ජාති සැර

කියවා මේ ලිපිය ජේසුනි පින්සාර
නත්තල එපා සමරනු සිට එන පාර
කියලා අණක් දෙනු සමිඳේ අත නෑර
මේ අපි සැවුල්, සූකර, එළු, පව්කාර
--------------------------------------ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

No comments:

Post a Comment