කවි කියවන්න ආව අය

Sunday, February 28, 2016

නරක පුරුද්ද - ඇඟිලි ඉරීම


දරු සම්පත තරම් දෙයක් පියෙකුට කොහෙදෝ ඇත්තේ
උරු මය මතුවට අරගෙන ඔහු නොවැ ගෙන යා යුත්තේ
කෙරු වට මොනතරම් වාද දුවෙකුට පළමුව සත්තේ
තෙරු වන සරණින් කටඇති පුතෙකුයි මම ලැබ ගත්තේ

කියන්න ආසයි ඇත්තට උගෙ දඟවැඩ පොඩි කාලේ
අයන්න කියවන කාලෙදි ඌ කළ වැඩ ඉස් කෝලේ
ලියන්න කිව්වම ගන්නේ උගෙ සෙල්ලම් පිස් තෝලේ
මවන්න හිතෙනව ආයෙත් සිහි වෙනකොට උගෙ බාලේ

ඇඟිල්ල කට ඇතුලෙ රුවා උරමින් දඟ වැඩ කෙරුවේ
කිහිල්ල යට කිති කවමින් මම හිනැහෙන හැටි බැලුවේ
කොහොල්ල බබු කතන්දරේ කියලයි පුතු නිදි කෙරුවේ
තොටිල්ල මැද තියපු ගමන් ආයෙ ඇඟිල්ලයි ඉරුවේ

පුරුද්ද යන්නෑ කොල්ලා ලොකු වෙනවා බලා ඉද්දි
බලං ඉන්නෙ කොහොමද මූ ලොකු වෙනකොට මෙය උ රද්දි
දෙකක් තුනක් ගැහුවත් ඌ කට ඇතුලට අත දාද්දි
දුකත් හිතෙනවා එතකොට ඉකි ගහගහ මූ අ ඬද්දි

දවසක් දා පුතු දවගෙන හති දමදම විත් කිව්වා
තාත්තෙ ඇත්තද ආච්චි අම්මා මේ ලෙස කිව්වා
ඇඟිලි උරන අයගේ බඩ මේ ලෙස ඉදිමෙයි කිව්වා
ලොකුවී ඉදිමීගෙන විත් පුපුරන වගකුත් කිව්වා

ඇඟිලි ඉරිලි නතරවෙලා ගතවූයේ අවුරුද්දයි
බිරිඳගෙ නංගිගෙ ගෙදරින් ගෙනආවේ ඇරයුමකුයි
බැඳලා ඇය පළමු වසර හෙටදින සමරන බවකුයි
කොල්ල වඩන් බිරිඳ එක්ක ගියේ ඇගේ නිවහනටයි

පැනලා මූ මගෙ ඇකයෙන් ගත්තෙ නැද්ද කෑ ගහන්ඩ
ඔයා අරක ඉරුව නේද පුංචියෙ ලැජ්ජයි කියන්ඩ
ලැජ්ජාවේ ඇඹරුණි ඇය සෙනග අස්සෙ මේ අහන්ඩ
ඔන්න මෙන්න කියල හිටියෙ නංගි බබා හම්බ වෙන්ඩ

............................................ ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි. නිර්මාණ අයිතිය ඔහු සතුය.

No comments:

Post a Comment