කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

දුම්බර ගොවියා..!!

------------දුම්බර ගොවියා------------
දුම්බර මිටියාවත දුර පෙනෙනා සුන්දර වෙල්යායක් මත්තේ
පින්බර දෙවිඳුන් නිති වැඩ වසනා ගම්බද ඇතුගල් පුර පැත්තේ
සමබර දිවියට නිති උර දෙමිනා රස බැලු උදැල්ල සහ කැත්තේ
පෙම්බර බිරියද සමගින් ගොවියකු හේනෙ කුඹුරෙ වැඩ කර ගත්තේ

ඇස්වහ කටවහ දෝෂ කිසිත් නෑ අත තිබ්බොත් ඵල හටගන්නේ
මස්සහ මාංශ කිසි දවසක නෑ ගෙදර පළාතට නම් ගන්නේ
කොස්ගහ ගෙයි ඉස්සරහම තිබෙණා නිතරම ගැබ්බර වයි ඉන්නේ
යලමහ වපුරා අටුකොටු පුරවා හේන කොටන්ටත් උර දෙන්නේ

කොච්චර යහගුණ පිට දිවි ගෙව්වත් පෙරකළ කරුමයකුත් තිබෙණා
මෙච්චර ලස්සන රූපයකුත් ඇති ගෙවිලිය අලසව දවසරිනා
අච්චර වෙහෙසී අටු පුරවන්නට රෑ දාවල් ඔහු පැල් රකිනා
ගැබ්බර එළදෙන වාගේ දවසම නිදි පැදුරේ ඇය කල් ගෙවනා

එනමුත් මිනිහගෙ රැවුම් බැණුම් නැහැ ආදරයෙන් ඇය අමතනවා
කොහොමත් ගැහැනුන් සියුමැලි කට්ටිය කියමින් නිතරම හිනැහෙනවා
වෙහෙසත් නොබලා ගෙදර දොරේ වැඩ හැමදේටම නිති උරදෙනවා
යහපත් සැමියකු ලබන්න මේ වගෙ ඇය පින් කළ බව වැටහෙනවා

අස්වනු නෙළලා වී ටික ගෙටගෙන අටුකොටු සේරම පිරවූවා
වෙහෙසුණු තරමට ප්‍රතිඵල කියමින් හේනද කොටලා වැපිරූවා
බිහිසුණු වල්අලි භව බෝ වනසයි පැල් රකින්න රෑ පිටවූවා
පසුවෙනු හොඳ සිහි කල්පනාව පිට හොරු එයි බිරිඳට පැවසූවා

පසුදා උදයෙම ගෙපැලට එනවිට අටුකොටු සේරම ඇරදාලා
කිසිදා නැතිලෙස වීමළු දෙකතුන ගෙයි පිළිකන්නෙත් ඇත වැටිලා
පණදා ගෙන මම හම්බ කරපු ටික ගෑනියෙ බලපන් ඇවිදිල්ලා
වෙරදා ගෙන කෑ ගැසුවට මේකී තවමත් නිදි පැදුරේ දපලා

වං කකුලෙන් ඇණ ඉලයට පාරක් ඇස් ඇරලා බලපන් කිව්වා
බං මර නින්දෙද උඹ තව ඉන්නේ මිනිහා තරහෙන් කෑ ගැහුවා
උං අහවල් එක කොරල ගියත් බොට දන්නවාද බොල උඹ එව්වා
"මං හිතුවේ ඒ උඹැහැ කියාලයි" ඇය නිදිමත පිට ඇස් ඇරියා
----------------------------------------ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ  අවසරය මත උපුටාගෙන පලකරන ලද්දකි.

No comments:

Post a Comment