කවි කියවන්න ආව අය

Monday, February 29, 2016

කුංචනාද ...


කුංචනාද

විදුලි කියතක හඬට හද කීරි වැද දවන
වඩා කස හඬක ඇති වෙනස කිමදැයි සොයන
උනුහුමට බෝ කලක් අප සුරැකි වන අරණ
කපා හිස් කරන වුන් රැස් කරන කොට අදින

සාධු ජන කැල පිනන විදුලි බුබුලක් දැරුම
කිසි කලෙක සම වේද සඳ එලියකට පුදුම
සිත සතුටු කල බැවින් රුක් මුලෙක නිදි වැදුම
නොපැතීමි කිසිදාක පෙරහැරෙක නිදි වැරුම

දුක් විඳින දනන්ගෙන් සොරාගත් බිම මතා
අසුන් විකුනා රැකෙන පින්වතුන් ගැන සිතා
සෙවන දුන් වනස්පති රස ඵලින් සැදි ලතා
කෙලෙස හැර එමිද මේ දම්වැලින් බැඳි සතා

තේජසින් ඔද වැදුනු පරපුරක පෙර රැඳුන
නෑසියන් ගිය ලෙසට මරු වඩින කල හැඳින
සොහොන වෙත යනු නොහී ඇත් හලෙක පණ අදින
තාත්තා කියන තුරු නොහැඟුනත් කිසිම දින

යදම් තදකල පයට පෑගුනත් ගිණි සිලක්
එගිණි සැර විඳගතිමි නොසොලවා පිට මදක්
ඉවසුවත් සිතා මෙය තිරිසනෙක් ලද පිනක්
එහිමි සඳ නොවේමැයි එකරඬුව අනුරුවක්

නුවන් තොටවත්ත කිවිඳුන්ගේ නිර්මාණයකි. 2014 ක් වූ මැයි මස 19 වන දින කරන ලද නිර්මාණයකි . උපුටාගෙන පලකරන ලද්දකි.

No comments:

Post a Comment