කවි කියවන්න ආව අය

Tuesday, March 1, 2016

ගායකයෙකුට බිරිඳක්ව...

-ගායකයෙකුට බිරිඳක්ව-

රසික සිත් සුවහසක් මත් කර
ගයා සුමියුරු නදින් සත්සර
මගේ දෙනුවන් සදා තෙත් කර
ලොවට හිමි මට අහිමි නෙත් සර

පාන රංගන අතරෙ සුන්දර
නේක ගැයුමන් ඊට එක් කර
සාද මැද නුඹ සමඟ අප්සර
රෑක මං තනි යහනෙ පෙම්බර

ඇවිත් අත ගෙන නුඹෙ සුපෙම්බර
සමරු පොත් මැද අතරෙ ඔල්වර
අමතකව අද පෙම් කතන්දර
ඔසව ගන්නට බැරි හැඟුම් බර

වීණාවෙ තත් බොහොම පින්බර
නෑ පහස මගෙ සිතම දුක් බර
කෝ කොහිද මට ඇද්ද පෙම් කර
නේක ඇරයුම් අතරෙ මල්සර

ගෙදර ගතවෙන මොහොත ඇස් ඇර
සියක් ඇමතුම් සමඟ පත්තර
එපා මට ගොඩ මඩින් අක්කර
දෙන්න සෙනෙහස නොයා අත් හැර

දරා ගනු බැරි දුකින් කප්පර
අසමි දෙවියනි දෑත දික් කර
ඇතත් රන් මිණි විසල් මන්දිර
අනේ මං අසරණද කොච්චර

නුඹේ දෑසට දෑස් එක්කර
උන්නු එදවස යළි මතක් කර
නොනිමි කඳුළකි මසිත අද්දර
ලොවක් සනසයි නුඹේ අන්දර

තරංගා ජීවනී කිවිඳිය  25-7- 2013 දින කරන ලද නිර්මාණයකි . උපුටාගෙන පලකරන ලදී

No comments:

Post a Comment