Real Machan සම්පත් කුරුප්පුආරච්චි
17 January 2013
ඈ මගේ පෙම්වතියයි...
ඉළුවේ නැතත් ඈ නිය පොතු වල පාට
තිබ්බටු, පලා ඇන්දා ඒ මත කහට
ගස්ලබු පිපිඤ්ඥා පෙති නැතුවට රෑට
මුහුණට එළිය වැටුණා හද පිරි පෙමට..
මුවදොර පිටියෙ ඈ හවසට නැත දිව්වේ
දිය පිරි කළය රැඳි ඉඟ දෙවඟන මැව්වේ
මුහුලස සැලුන් නොදැකයි සුළඟේ දිව්වේ
රන් කෙඳි හිරුගෙ පැහැයෙන් පන්සිළු නිව්වේ..
ඇහි බැමි නැතත් පැන්සල් කොටයෙන් උලලා
දේදුනු වලා යට සැඟ වුණි ඈ දැකලා
වයිවර්ණයෙන් ඇස් ඇතුළට එළි ඔබලා
නැතුවට ඇගෙ නෙත් ආදරයෙන් පිරිලා...
බෝතල් හලා නැතුවට රතු මත අදර
සීතල ලවන් පෑ නෙළුමකි දයා බර
වැරහැලි ඔබා පුම්බා නැති රන තිසර
මා හට අයැදිනා සේ ඇත වෙලා හිර…
හිර වුණ ඩෙනිම පරදන ඇගෙ ඉඟ නෙරිය
වැසු පුළුලුකුළ රිය සක සම වනු බැරිය
බොළඳ ලියන් මැද හිනැහෙන ඇගෙ දිරිය
එවැනි ළඳක් කවි සිය දහකට සරිය...
සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි .
No comments:
Post a Comment