කවි කියවන්න ආව අය

Wednesday, March 9, 2016

පස් මහ බැළුම්..!!

පස් මහ බැළුම්..!!
නිසල දියට ගල් කැටයක් වැටුනාම..
දියම කැළඹ ගල යයි එහි පතුලටම..
නිසල දියක් වී මා සිටි කල පැමිණ..
හදවත කළඹ පතුලේ සැඟවුනේ කිම..?

කිසිවෙක් නොදුන් උපතින් ලද කවි කෙරුම..
පද ගොත ගොතා ලිව්වේ තනිකම ගැනම..
ඔබත් සමඟ ඔපවත් වුනු ඒ කවිම..
විරහ කවක් වෙන්නට අද හේතු කිම..?

හද තුල දරාගෙන ඔබගේ මිහිරි පෙම..
පාවෙන වරා මල් කැකුළක් වුනා මම..
දිය බිඳ ලෙසින් ඔබ වැටිලා ඒ මතම..
මල බර වෙලා ඇද වැටි මිහිතලයටම..!!

රෑ දුටු සිහිනයක් ලෙස මා අමතක කෙරුම..
කළ හැකි තරම් හද රළු වූයේ කෝම..?
මගෙ පපුතුරෙහි සැඟවෙන්නට පෙර සිටම..
පස් මහ බැළුම් නොබැළුවේ ඇයිදෝ නුඹම...??

ශාන්ති විශ්වමාලා රණසිංහ කිවිඳියගේ නිර්මාණයකි
2014/ 11/8

No comments:

Post a Comment