කවි කියවන්න ආව අය

Wednesday, March 9, 2016

ආබාධිතවූ ප්‍රේමය.....

ආබාධිතවූ ප්‍රේමය........

ලෝකය මා දෙස කෙළෙසක බැලුවත් නැත අමනාපය මගේ සිතේ
පාපය පලදුන් මෙච්චර දරැණුද පුපුරා යයි උණු කඳුළු නෙතේ
ගීතය වී ඔබ ළඟ සිටිනා විට දුරැවේ සැම වේදනා ගතේ
සාපය විඳගමි දිවි ගෙවනා තුරැ කළ හැකි වෙන පිළියමක් නැතේ

සුසිනිදු වැල්ලේ පා යුඟ තබලා ඇවිදන් යන්නේ කෙලෙසකදෝ
රංචුව ගැහිලා තරගෙට දුවලා මම ජයගන්නේ කවදටදෝ
මගෙම අතින් බත් මිටක් අනාලා ඔබට කැවීමත් සිහිනෙකදෝ
වචනය ගලපා පෙම් කවි ගයනට හඬ නොනැඟෙන්නේ කරැමෙටදෝ

සිතිවිලි සිරවී මුළු ගත වෙව්ලයි කොහොමද ඔබ හට පවසන්නේ
හද පිරි සෙනෙහස දින දින වැඩිවෙයි නැතිදෝ ඒ ගැන විමසන්නේ
මගෙ අත පය මට අවනත නැතිමුත් හැඟුමන් ඔබ මොබ පියඹන්නේ
පළමු පෙමයි මේ කෙලෙස කියන්නද තනිවම මා එය විඳගන්නේ

ඔබ තුළ පොපියන හැඟුමන් ගැන මා කිසිවක් නම් තව නොදන්නෙමී
සලකන විදිහෙන් අමතන අයුරින් එය ආලය බැව් සිතන්නෙමී
මගෙ ඇති සෙනෙහස දිනයක වැටහෙයි එතකන් මං මඟ බලන්නෙමී
ඔබේ දෑත ගෙන සසර පුරා සැරි සරනට සිහිනම දකින්නෙමී

චන්දන ගුණසේකර කිවිඳුන්ගේ නිර්මාණයකි - එක්සත් රාජධානිය

No comments:

Post a Comment