මෙහෙව් රටේ
.
නෝබින අයුතු කම අබියස කෑමොර දී හැටට.................හැටේ
ජාතික ආලයම වපුරා රණ හඬ සේ හතර........................වටේ
වාසිය දුටුව තැන හෙළනා ඒ හැම දේ මකර....................කටේ
දේසයපාලුවනි තොපි නොව අපිමයි නිවටයින්.................රටේ
.
උදයේ හවා මුනුමුනු ගා පන්සිල් ටික අර........................ගත්තු
සිරසේ හොවා දෙඅතම බැඳ බුදු පුද දෙන බණ..................දත්තු
කිරියා කළේ පරයන සේ වනයේ රැඳි රුදු.......................සත්තූ
කෙළෙසා දමා ලති අපේම මල් වැනි වූ දූ........................පුත්තූ
.
කටමැත දොඩන විට විහිදේ හක්කේ බුදුරැස්.......................සීත
උදරය පලා බලහොත් ඇත කුණුවෙන දඩ මස්...................ගාත
පුදුමයි දරුම දීපය මත බහුතරයකි අවි..............................නීත
මේවා නොදුටු සේ ඉන්නේ කොහොමද දෙවියනි................නාථ
.
යුක්තිය පසිඳ අධිකරණේ නඩු අසනා හාමු.........................දුරූ
සාමය සමඟ නීති රකින නිළ දරුවෝ පැළඳ.......................තරූ
හැසිරෙති දුගඳ හමනා ලෙස ඉතිහාසේ නොවූ.....................විරූ
තනතුරු බැඳිව බලතල ලද වැඩි හරියක් පට්ට..................හොරූ
.
අග වැඩ හිඳින මහනායක මුනිවත රැක සැප....................පුටුවේ
මග හෙළි කරන අනුසාසන රජු වෙත නැහැ දෙනු..............දුටුවේ
වග වලසුනට නොදෙවෙනි දන මන තුළ මනු ගුණ............පටුවේ
සඟ තරු දෙසූ බුදු බණ නම් විකිණෙනවා පිට...............කොටුවේ
(ශාවී)
ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි .
2013.08.05
No comments:
Post a Comment