කවි කියවන්න ආව අය

Thursday, February 11, 2016

---එක් සත්‍ය කතාවක් (1 ඇරඹුම)

---එක් සත්‍ය කතාවක් (1 ඇරඹුම)
ගැමි නාගරික කම මුසුවුන පරිසරය
වටපිට පෙනුම නම් අතිශය සුන්දරය
සමහරු බටහිරය තවකෙකු විලිබරය
එනමුදු නොමැත කිසිවෙකුටත් කරදරය
මෙය වකවානුවයි රජකළ භීෂණය
සටනට තරුණ කැළ ගෙනදුනි පෝෂණය
චීවරයටත් පැතිරුණි එහි භාෂණය
මර්දන අවිය ගති රට සිංහාසනය
කොළඹට නුදුරු ආරාමෙක නම පතළ
වාසිටි සඟ නමකි ගත් මග තරුණ පෙළ
අවි පුහුණුව පංති මේ හැම ප්‍රගුණ කළ
මොහු ගැන ඉව කෙරුණි හමුදා පොලිසි මොළ
මව් පිය දෙපල හිමිනම නිවසට ගෙන්නා
චීවර උනා ගැමි තරුණෙකු වෙස් ගන්නා
නමගම වෙනස් කර සිය ධන බල පෙන්නා
පෙර කිව් ගමේ සිටි සොහොයුරියට දුන්නා
ඇය කැප වීය සිය දරු මෙන් රකින්නට
පුතු විය කැමති බය මරණය දකින්නට
අවදානමෙදී මේ කළ ගුණ ගෙවන්නට
අයියයට සිතුණි සිය නැගණිය වඳින්නට
මැදිවිය නැන්ද මාමා සහ පිපී එන
පාසැල් වියේ නැගණිය හා සතරදෙන
හැකි විදියකට සරි කරගෙන වේල් තුන
සතුටින් දිවි ගෙවී යල මහ කොටාගෙන
කාලය ගෙවෙද්දී මාමා කලින් යැවූ
අයැදුම් පතට කැඳවා පිට රටින් එවූ
ලිපියක් ලැබුණි පෙර ඔහු සිත බියක් මැවූ
තනියට ගෙදර ඇත සවිබල පුතෙක් හෙවූ
සාදය දමා මධු විත ඇද පිටත් වෙන
මාමා නැන්ද යහළුවො ළඟ කීප දෙන
පිටවිය ගුවන් තොට වෙත ඝන අඳුර ගෙන
අයියා නංගි පමණකි ගෙයි ඉතිරි වුන
-------------------------------ශාරා
ලද අවසරයෙ සොහොයුරු පෙම රැක්කාද ?
බිඳ වැටකඩොලු එය උකසට තිබ්බාද ?
මැද ගිය රැඟුම මට කළියෙන් දැක්කාද ?
එහෙනම් ලියනු මැන සිදුවුනෙ මක්කාද ?

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ  අවසරය මත උපුටා පලකරන ලද්දකි.

No comments:

Post a Comment