කවි කියවන්න ආව අය

Thursday, February 11, 2016

මී පුප් ලදිම් දරු නොලදීම් 3 (අවසන් දිගහැරුම)

මී පුප් ලදිම් (අවසන් දිගහැරුම)

ඇරෙනා දොරෙන් තරුණිය ලේ පෙරාගෙන
පැන්නා පෙරට යමු ආපසු කියාගෙන
ඔටු රැලකට මැදිව සිටි නෙත් අයාගෙන
ලොකු පුතු දුටී දොර අතරින් වැසීයන

ආපසු පැමිණ එම්බසියට බඩගෑවා
මොනවා කරන්නද තොරතුරු නෑ කීවා
අසරණ එකා තව තව අසරණ වූවා
තුන් වේලටම ඇන්ටන් කඳුළැලි බීවා

ඔය මැදුරට ඇදෙති ධනපති සිටුවරයෝ
උන් සනසන්නෙ ලංකාවෙන් එන දැරියෝ
මෙහෙවති ඔටු රේස් මුදලට මෙහි මැරයෝ
පොඩි දරුවන්ය වුන් පිට උඩ යන ජොකියෝ

"ඕමර්" නැමැති මේ මහ ධන කුවේරයා
හැසිරෙයි ලෙසින් මිසරය හිමි කුමාරයා
ඇසුවෙද මේ පුවත විස්මිත දෑස අයා
පිහිටක් පතා ගියවිට එහි කෙනෙකු සොයා

ඕකයි මෙතැන සිදුවන දේ සැකවින්ම
ඇති බේරුණා මිසරය අතහැර දැන්ම
පිටවෙනු පළමු දෙය පණනළ රැක ගැන්ම
සියරට ගොසින් විසඳනු මෙය මොළයෙන්ම

අවා මව් බිමට අර කෙල්ලගෙ ගානෙන්
ආදා ඉඳන් පේනව පොඩිවුන් හීනෙන්
ඉපදුන දා පටන් නොයැවූ ඇස් මානෙන්
දරුවන් නැතුව ගේ එළියක් නෑ පානෙන්

මව්රට ඇවිත් අඬ අඬ අර තැන මෙතැන
වැඳ වැටුණාය සිඹ සිඹ පා වගකියන
එනමුත් නොමැත අබැටක් වත් පිළිසරණ
කෝ ඔය කියන මානව හිමිකම් දෙරණ

හැරපන් බිරිඳ ඇය නීචයි තාත්තේ
දරුවන් අසරණයි පොඩිවුන් තාත්තේ
බලවන්තයින් පිහිටට නැති තාත්තේ
යැදපන් පිහිට දෙවියන්ගෙන් තාත්තේ
නිමි----------------------------ශාරා

සත්‍ය කතාවක් ඇසුරෙන් ශාන්ත රාජපක්ෂ කිවිඳුන් විසින් ලියන ලද කවි පන්තියකි.ඔහුගේ අවසරය මත උපුටා දක්වන ලදී..

https://www.facebook.com/photo.php?fbid=613683968707860&set=a.177199495689645.43059.100001987865389&type=3&theater

No comments:

Post a Comment