කවි කියවන්න ආව අය

Thursday, February 11, 2016

දිට්ට ධම්ම වේදනය

දිට්ට ධම්ම වේදනය
බත මිස කිසිත් නැති හන්දා ගේ හරියේ
මොලවා ලිපේ ගිනි "පෑලිස්" කඩි මුඩියේ
අල්ලා මසුන් ගැහෙනා පණ කිටි කිටියේ
අමුණා ඉරටුවක හිටියා වැව් පඩියේ
සැනෙකින් පෙතිගසා තව පණ ගැහෙන පිට
තුන පහ මිරිස් ඒ මත්තට එකතු කොට
ලුණු නැති නිසා බැණ මියගිය බිරිය හට
දිව්වා රැගෙන එන අටියෙන් පහළ ගෙට
ඇති කළ බැල්ල ගෙයි අලුතින් පැටව් වදා
වෙහෙසද බඩ සාය පිට මොහු තිබුණු හදා
කාලා මාළු ඇතිලිය එහි නොඉඳ රඳා
සිටියා කිරි දිදී පැටවුන් අතර නිදා
දැක හිස් වළඳ මූ "මම අද මරමි තොපී"
කිය කිය උදැල්ලද ගෙන වෛරයෙන් කිපී
කිරි උර උරා සිටි තව ඇස් නොමැති පිපී
බැල්ලද පැටව් පොදියද සත් කඩට කැපී
එතැනම කපා වල අත රැඳි උදැල්ලෙන්
වල දා උන්ව ගෙට ඇදෙනා ඇසිල්ලෙන්
මහ වැසී වැටී ආ හෙණයක් විදිල්ලෙන්
හිස වෙන් කළා මුගෙ කඳ රැඳි සැකිල්ලෙන්
කිසිවක් නොදත් ගම් වැසියෝ ශෝක වෙලා
පිළිවෙත් පුරා මළගම ගෙන සොහොන් කළා
පැයකින් වැසි වැටී අකුණක් පහත් වෙලා
පස් බිඳ වලේ සිරුරම සුණු විසුණු කළා
මරුවා සොබා දහමින් ඉරණම එව්වා
පව්කාරයිනි උඹලට පාඩම් මෙව්වා
මතකය පැරණි වදනක් සොය සොය දිව්වා
මේකයි කියන්නේ "වලටත් හෙණ ගැහුවා"
------------------------------------ශාරා
අඟුණකොළ පැලැස්ස ජඳුර නම් ග්‍රාමයේ සිදුවූ සත්‍ය සිද්ධියක් ඇසුරින් ශාන්ත රාජපක්ෂ කිවිඳුන් විසින් ලියන ලද කවි පන්තියකි. ඔහුගේ අවසරය මත උපුටා පල කරන ලදී. ඔබේ අදහස් පලකරන්න. 

No comments:

Post a Comment