කවි කියවන්න ආව අය

Thursday, February 11, 2016

වැසිබර ගැමිසිරිය

වැසිබර ගැමිසිරිය
අහසේ වළාකුලු පෙළ හිල් වෙලා වගේ
මිහිකත සිඹින සිරිපොද මද අඳුර දිගේ
ගොම්මං වෙලා නැති හැන්දෑ කළුවෙ රඟේ
මොර සූරනා වැස්සක පෙර නිමිති නැගේ
තෙල් බෝතලේ එල්ලා ලණු එතුණු කටේ
කාලේ සීනි ගොට්ටයි තේ පණං අටේ
රෙදි පොට නවා ගහගෙන යළි නෙරිය වටේ
"මැගිලිං" දුවයි වැස්සට පෙර හැටට හැටේ
"සේතං" මාම දක්කා මී ගොං රෑන
පාරට නැගී වෙල මත්තෙං හති දාන
අල්ලා ගන්න ගොස් මුළ යන මී බාන
ගොම්බෙටි ගොඩේ ඇනුණා ලිස්සා මූණ
"විලියොං" මාළු විකුණන කර කර ගාලා
දංවැල පනින සයිකලයට තෙල් දාලා
විකුණා ගන්න යද්දී දනි පනි ගාලා
"කුණු මාලෝ" කිවිවෙ රුයිතා රා ගහලා
භාගෙට භාගෙ අතු වියනා මහ වත්තේ
නැන්දා ජේන් කෙලි පොඩ්ඩයි රතු පොත්තේ
හනිකට යද්දි දර මිටියෙන් හිස මත්තේ
හොර පොල් දෙකක් වැටුනා ඇමිණුනු කැත්තේ
පිහියයි ලබු කැටෙයි ලණුවයි එල්ලාන
පල්ලං බහියි රා මදිනා සිරිසේන
විල්බා පුරුද්දට කටුවක් ඉල්ලාන
පස්සෙං දුවයි ලුණු කැටයක් කටගාන
පොද පොද වැස්ස මහ හයියෙන් පොලොව කති
බක බක ගෙඹි කරච්චලයද නතර වෙති
බත් මුට්ටියේ වගෙ පාරෙන් දුම් දමති
වැස්සේ නාන පොඩි අපිටයි නැවුම් ගති
----------------------------------ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ  අවසරය මත උපුටා පලකරන ලද්දකි.

No comments:

Post a Comment