කවි කියවන්න ආව අය

Thursday, February 11, 2016

හස්ති වියරුව!

හස්ති වියරුව!
පුරවා අනාගත පැතුමන් තුරුණු ළයේ
ඉගැණුම පිණිස වෙහෙසෙන ඇය දිවා රැයේ
බාහිර උපාධිය ලැබුමට වාසිටියේ
සැතපුම් අටක් පාපැදියෙනි ගමන ගියේ
හිමිදිරි පාන්දර සිඹ තම මවගෙ දෙපා
බත්මුල අතට ගෙන සුරතල් සිනා පපා
ජයගමි විභාගය මම බය වෙන්න එපා
පාපැදියට නැගු‍ණෙ කියමින් දෙතොල හපා
පද මුමුණනා ගීතයෙ රිද්මයට වගේ
රෝදත් ගියේ V හැඩයට පාර දිගේ
සීතල සුළඟ මේ සුන්දර දසුනෙ අගේ
වින්දේ සෙමිනි වැදි වැදි ඇගෙ සුමුදු ඇ‍ඟේ
හදිසියෙ පාර පසෙකින් කළු ගලක් වැනී
සද්දන්තයෙක් මතුවිය මහ වියරුවෙනී
සියුමැලි සිරුර ඩැහැගත් සොඬ ක්ෂණයකිනි
කැලයට වැදුණෙ ඇගෙ මරහඬ නොතකමිනි
දැක මේ දසුන එකමග ආ වෙළෙන්දෙක්
හිස කරකැවී නැතිවුණ මුත් නිනව්වක්
කරමිය සිතා කෙලෙසක හෝ උදව්වක්
දිව්වා සොයා ගිජිඳා ගිය ඉසව්වක්
පෑගුණි පයට ලේ දහරක් පොලොව මත
පසෙකින් දුටී ඇගෙ නළියන ගැහෙන ගත
ඔසවා ගද්දි දෝතට පා මිලින වත
අවසන් වදනෙ හඬ තවමත් තෙමයි නෙත
පෙර පෙර ඇසින් ලේ මුසු උණු කඳුළු කැට
දිගුකර සුරත බා ඔහුගේ උරය පිට
මාමේ මාව ගෙනියන වද විභාගෙට
අසමින් හෙලී සුසුමක් දිවි නතරකොට
සතුනේ වනය උඹලාටයි අපට නොවේ
ඇතුනට ගිනි බිඳින මිනිසුන් තැතුව නොවේ
මේ අලි මිනිස් වෛරය අද ඊයෙ නොවේ
ගිජිඳෝ සුවඳ මල් මේවට පලිද නොවේ
-----------------------------------ශාරා
නිකවැරටිය මොන්නෑකුලමේ ලක්මිණි මධුභාෂිනී
සිසුවියගේ මරණ මංචකයේ සත්‍ය පුවතයි මේ.
ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ  අවසරය මත උපුටා පලකරන ලද්දකි.

No comments:

Post a Comment