ගම් පෙරළිය
ඉස්සර අපේ පන්සල වෙල ඉස්මත්තේ
හදිසියෙ මගේ මතකය යළි සිප ගත්තේ
හවසට රැව්දෙනා ඝණ්ඨා නද මත්තේ
දායක පිරිස එයි සමුළුව වෙල පැත්තේ
සීයා අපේ එහි මුලසුන හෙබැ වීය
කැස්බෑ පනාවට කවුරුත් සැල කීය
ඇරඹුම කවියකින් රසමසවුළු දීය
පන්සල නිසා කාගෙත් අත් ඉව සීය
පෝදා දහම් පිඩ සිල්ගත් අයට දන
පන්සල් නාට්ටිය මුදු බුදු ගුණය ගැන
දම්පල් සිසුන් අගයා හොඳ තෑගි දෙන
සැලසුම් කළේ ගම්මුන්ගේ සහය ගෙන
ඈවරෙ දුවයි මල්වට්ටිය වෙන්දේසී
කාසිම පිරෙයි තුන හතරක් බන්දේසී
අතරේ අලුත් පෙම් හබවල කොන්දේසී
සැඟවෙයි සමග පපු තුරුලේ සන්දේසී
දැල්වෙයි පහන් වැටි සුළඟට සිරස නමා
නැටුමක් වගේ තාලෙට එක අතට සැමා
ලොකු හාමුදුරුවෝ අණදෙයි කොහෙද පමා
එළිවෙන තුරා තෙල් දැම්මේ අපිම තමා
කාලය ඉගිලුණා ඊයක ගීය ගයා
විදුලිය ආපි ගම ගේදොර අඳුර සොයා
හැමදේ වෙනස් විය වෙල් මත ගෙවල් තියා
ලොකු සාදුවයි,සීයා, මරු අරන් ගියා
මැම්බරගේ පුතා ලන්ඩන් ඉගෙන ගෙන
ආවා ගමට අරගෙන පිටරටින් උණ
දායක සභාවෙත් පුටුවට බලෙන් පැන
ගමටද පත්වුණා ඡන්දෙන් චණ්ඩි පින
දැන් පෝදාට පන්සල විදුලියෙන් දිලී
සැන්දෑ සංගීත හිරිකිත නැටුම් කෙලී
දෙස්පලු සුදෝ සුදු රෙද්දෙන් වසා විලී
නිතරම ඇසෙයි පොඩි සාධුගෙ බණත් ජොලී
-------------------------------------ශාරා
ශාන්ත රාජපක්ෂ කිවිඳුන් විසින් 2012 ක් වූ ඔක්තෝබර් මස 12 වන දින ලියා ඔහුගේ මුහුණුපොත් පිටුවේ පලකරන ලද නිර්මාණයකි.
ඔහුගේ අවසරය මත උපුටාගෙන මතු සංරක්ෂණය උදෙසා මෙහි ගොනු කරන ලදී. මතු උපුටාගැනීමකදී නිර්මාණ අයිතිය ශාන්ත රාජපක්ෂ කිවිඳුන් සතුබව කරුණාවෙන් සලකන්න.
No comments:
Post a Comment