නුඹ එන තුරු
නුඹ එන තුරු
මලට වසා සමනලයින් රොන් සුනු ගෙන හැර ගියාම
හඬන්නෙ නෑ ඇය, බඹරුන් ඇති බව දන්නා නිසාම
මහද මලේ පිරි මධු ගෙන නුඹ වෙනතක ඉගිලුනාම
මට නොහැකිය ඉන්න පිපුනු මලක් වගේ හිනැහිලාම..
රෝස කොපුල් මල් පෙත්තට වඩා සිනිඳු බව පැවසී
නීල නුවන් නෙත් යුග මත මියුරු හාදුවක් ගැවසී
ආල පිරුණු උවන පුරා සොඳුරු සිනාවෙන් සැරසී
පාට නොගා තොල් පෙති මත මල් මධු ගෑ දැයි විමසී
හමන සුළං අදත් එන්නෙ ඔබ ඉන්නා දෙස ඉඳන්ද
විහඟ රෑන් ඒ ගයන්නෙ ඔබ ලියාපු කවි පෙලක්ද
නීල වලා මත මං පණිවුඩ කීයක් එවා ඇද්ද
අසල ගඟේ පුංචි මාලු ගැයු ගීතය ඇහුනෙ නැද්ද
හැම මලටම කවි ලීවත් ඒ මල් පරවෙලා යාවි
හිත අද්දර රෝස පැලේ නුඹ එනතුරු මල් වරාවි
එක හිත නැති වුනත් නුඹට මගෙ හිත නොසැලී තියේවි
යලි එනදා සිත් මිදුලේ මල් පිපිලා සිනාසේවි
--- ඉන්දු ලියනගේ ---
No comments:
Post a Comment