කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

පය බරවාය.. !!

මළ කා ගියත් හිත පොබයන කවි අවිය
සළකා මය දැයේ දියුණ ද විදුරවිය
වළකා ලිය නොහැක ගිණි සිළු දැවි දැවිය
බලකාමය නිසා අප හැම තැවි තැවිය

නිවසට අප පැමිණ පැහැරා ගෙන වස්තූ
කරකාරෙට අරං එහි සිටි බවලත්තූ
මරු වසඟයට යවමින් සවිබල පුත්තු
හෙළ සිරිතටත් ගිණි අවි නොවැ කළෙ පත්තු

රහමෙර ගෙනත් හුරු කර, කර මාට්ටුව
මස මර මරා කන්ටත් කළෙ සීට්ටුව
හෙළ වෙද කම මරා බිහි කර වාට්ටුව
අවසන දුන්නෙ බහු ආගම් පූට්ටුව

සුද්දා දුන්නු අල හා මුහු උනු ගෝවා
රෙද්දේ පුරා පෙරෙමින් රහ කර කෑවා
මැද්දේ උන්ගෙ සැලසුම් මෙහි ගිණි ලෑවා
යුද්දේ කොටි හපුවො අප වෙත ගෙන ආවා

යන්තම් නිමා වී තිස් වසරක යුද්දේ
අඩියක් දෙකක් කරදර අතරින් ඇද්දේ
ලුණු රහ බලන්ටත් කල් මදි විය හොද්දේ
විරුවා නතර විය මහ උළු ගේ මැද්දේ

අයියා මල්ලි ලැම්බෝගිනි ගෙනාවයි
පොඩි මල්ලී හඳේ එය හරි විනෝදයි
මාමල' බාප්පල පියතුම වගේමයි
මහ ජනතාව මහ පාරේ උලා කයි

කලකට ඉහත අප හට අණවිණ කරලා
රට හැර ගියපු අය කළු සුද්දන් මවලා
ඇවිදින් තිබේ විරුවන් විලසින් ඇඳලා
චෝගම් ගුලිය යන්නට අප හට කවලා

මොනවා නැතත් රට මැද හයි වේ යායයි
ඉක්මණටම වගේ පැට්‍රල් හඳ පායයි
දැනටත් ළූණු බෑ කන්නට තුන් සීයයි
පිටිකර බෙහෙත් කෝ මේ පය බරවායයි

චතුර විජේකෝන් කිවිඳුන්ගේ නිර්මාණයකි. වසර 2013 ක් වූ නොවැම්බර් මස 14 වන දින ලියන ලද්දක් ඔහුගේ අවසරය  මත උපුටා පලකරන ලදී..

No comments:

Post a Comment