කවි කියවන්න ආව අය

Friday, February 12, 2016

නොකී කතා

කුඩා කල සිටම මව් සෙනෙහස අහිමි දියණියක තම විවාහයට පෙර පෙම්වතාට කියන කතාවකි.

--- නොකී කතා ---

බිඳක් අයියේ සමා වී මා කියන මේවා අසා ...................... ඉන්න
හෙටක් ගැන සිතුවිලි මැවෙද්දී බැරිය පපුවට දරා ..............ගන්න
ලොවක් අගයන උතුම් සෙනෙහස පුංචි කාලෙම ගියා ........යන්න
මවක් නැති මට බලා ඉන්නව ගමේ කවුරුත් සිනා .......... සෙන්න

මෙතෙක් ආ මග වින්ද දුක් ගිනි ඉවස ඉවසා නොමැරි ........උන්න
කොතෙක් අසරණ වුණා දැයි බෑ තවත් කෙනෙකුට හිතා.... ගන්න
මතක් කරලා කියමි නුඹහට හැබැයි මතුවත් මගේ ...........වෙන්න
කතක් උනු හැටි දන්නෙවත් නෑ කවුද හිටියේ කියා ..........දෙන්න

දිනක් එනවා වේදනාවක් කරන්නට බැරි තරම් ............... මෙල්ල
මදක් සහනය හිටියනම් මා ගන්නවානේ බෙහෙත් ............ ඉල්ල
ගලක් කරගෙන හිතේ තදකර නොකී දේවල් තියේ ...........ගිල්ල
ඇහැක් වාගේ බලා ගන්නට හැකිද අසරණ නුඹේ ...........කෙල්ල

හිසක් මත තම මවුට කියලා වේල් පට දා සරස ................ ගන්න
හුඟක් ආසයි අනිත් අය මෙන් දෙපා වැඳ සුබ ගමන් ......... යන්න
ගමක් මා දෙස බලා ඉද්දී සැමගෙ කටවල් වසා .................ලන්න
කුසක් රක්ෂා කරන හැටි අම්මාට කියලා කියා ................ දෙන්න

ගඟක් වාගේ දිවිය යද්දී වුනෝතින් අඩු පාඩු ......................සිද්ධ
මගක් නෑ වෙන යන්න දවසක කිව්වොතින් බෑ ගන්න...........වැද්ද
පවක් පෙර දී කරන්නට ඇති මෙහෙම ඉන්නට රිද්ද ............රිද්ද
මවක් වෙනවද ඔයාවත් මතු මාව දාලා යන්නෙ .................නැද්ද

--- ශෂික මධුරංග කරුණාරත්න ---

ශෂික මධුරංග කරුණාරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත මෙහි උපුටා දක්වමි. මෙයින් උපුටාගැනීමක් සිදුකරන්නේ නම් නිර්මාණ කරුගේ නම සඳහන් කරන්නට කාරුණික වන්න.

No comments:

Post a Comment