කවි කියවන්න ආව අය

Saturday, February 27, 2016

දුක දිනා ජයගත් මිනිස්සු ( හරිස්චන්ද්‍ර දෙවන වෙළුම)

දුකදිනා ජයගත් මිනිස්සු

හරිස්චන්ද්‍ර (දෙවන වෙළුම)

ඉඩමේ ඔප්පුවයි මෙය මා සතු එකම
උකසට තබනු සුහදේ නොහෙලනු සුසුම
අපටම කියා මොකවත් අරඹනු අදම
උපදෙස,ඉඩම,සෙනෙහස,එක්විය පුදුම

ඔප්පුව උකස් කරලා පන්සීයකට
වී මෝලක් පටන් ගත්තා චූටියට
බුසලක් ශත දෙකයි කෙටුවේ කාසියට
ජයටම වැඩේ යයි හැමදේ වාසියට

ඇස්වල කටු ඇනං අල්ලපු කඩේ (කකා)
දැම්මා තවත් මෝලක් එන සෙනග දැකා
ඌ සතයටයි කෙටුවේ වී බඩට නොකා
වැටුණා බලං ඉන්දැද්දිම අපේ එකා

වැටුණත් බහින්නෑ මමනම් සතේට
කිව්වා හරිස්චන්දර තනිමතේට
දෛවය කැරකුණා යළි ඔහු වටේට
යුද්ධය දෙවැනි ආවා සිරිලකේට

හාලට ඉල්ලුමක් ආවා නොවීවිරු
කැඳවී මිලගනන් දකුණෙන් නමක් දැරු
සිරිලක පාලනේ කළෙ සුදු මහත්තුරු
හරිසට වතුර වගෙ ඉංගිරිසියත් හුරු

තරඟෙදි මෝල් හිමියෝ හැමදෙන හැළුණා
භාෂාවටම සුද්දගෙ කංකෙටි ඇරුණා
ලක්ෂ්මිගෙ සළුව කොල්ලගෙ ඔළුවේ එතුණා
ටෙන්ඩරෙ හරිස්චන්ද්‍රගෙ මෝලට ලැබුණා

දැව කොන්තරත්තුව ඒ සමගම පෑවා
දකුණේ එකම සැපයුම් කරු මොහු වූවා
ලෝකයෙ කාර්මීකරණෙට ඇහැ ලැවා
සුද්දගෙ දොරේ කවුළුවකින් ගොඩ ආවා

කුරහන් පිටි කොටා බෝතල් වලට බහා
විකුනන්නට වුණා ලොවටම දැනුණි රහා
මේ ලෙස උඳු,මිරිස්,කෝපි,ද සමග කහා
දීලා වෙළඳ පොල අල්ලා ගතිය වහා

-------------------------------ශාරා

කොප්පර කපා තෙල් පිටරට යවාපූ
සුවඳැති සබන් කැට කොහොමද හදාපූ
සේවකයන්ට තම ලාබය බෙදාපූ
ඊළඟ වෙළුමෙ ඇත රසකර ලියාපූ

ශාන්ත රාජපක්ෂ කිවිඳුන් විසින් වසර  2012  ඔක්තෝබර් මස 17 වන දින ලියා ඔහුගේ මුහුණුපොතේ රැඳවූ නිර්මාණයකි. මතු සංරක්ෂණය වෙනුවෙන් ඔහුගේ අවසරය මත උපුටාගෙන පල කරන ලදී..

No comments:

Post a Comment