කවි කියවන්න ආව අය

Showing posts with label තරංගා ජීවනී. Show all posts
Showing posts with label තරංගා ජීවනී. Show all posts

Friday, March 11, 2016

වරද...¡¡

Tharanga Jeevani
3 June 2013
----- වරද-----

අඩුවක් නැතිව ගැලු සෙනෙහස් ගඟ හින්දා
මා පිය සෙවනෙ සොහොයුරු කැළ මැද රන්දා
ගුණ දම් ඔවා ලඟ නිදහස් ලොව වින්දා
යොවුන් වසන්තයේ අත් තටු මං සින්දා

වට පිට සරණ බඹරුන් නොදුටුවා වගේ
කිව් පෙම් කතා සවනට නෑසුනා වගේ
රුව ගුණ පිරුණු උඩවැඩියා මලක් වගේ
හිටි හැටි ටිකක් ආඩම්බර වැඩිත් වගේ

මල් සර හීය දුන්නෙන් ගිලිහුණු දාක
ඇයි මහ බඹා නළලේ කෙටුවේ මේක
නෙත් මායිමේ නැති නුඹෙ පණිවුඩ නේක
සිත් ඉම අඳී පෙම් සිතුවම් දිගු රෑක

නෙතකට නෙතක් හමු වූවා නොවේ සිතා
හදකට හදක් බැඳුනයි පෙර සසරෙ පතා
සේයා රුවට වැඩියෙන් නුඹෙ හඬට ඉතා
බැඳි පෙම් මතක රිදවයි ඒ සොඳුරු කතා

හිමි නෑ අපිට අපි සිදු වී වැරදීමක්
පෙර පවකටද වුනෙ හදවත් හමු වීමක්
නොකළත් සිහිනයෙන් වත් කිසි රැවටීමක්
දෛවයේ ලියා ඇති මේ වගෙ වෙන් වීමක්

මෙලොවදි නුඹට පෙර මං ඉපදුණු හින්දා
ලං වෙන්නට එපා සනුහරෙ වැට බැන්දා
කුළුදුල් සෙනෙහෙ නුඹෙ නමටම පිදු හින්දා
දඬුවම විරහ දුක මට විතරද මන්දා

කුල ගොත් නම්බු ලොකු පොඩි කම් නොසොයාම
නුඹේ පෙම් ඇරයුමට                                                                                                                                                          වූවාම
අපේ සෙනෙහසට ලොව මායිම් බැන්දාම
කීකරු පුතෙකු වී මා හැර ගියෙ කෝම

-තරංගා ජීවනී කිවිඳියගේ නිර්මාණයකි

Tuesday, March 1, 2016

ගායකයෙකුට බිරිඳක්ව...

-ගායකයෙකුට බිරිඳක්ව-

රසික සිත් සුවහසක් මත් කර
ගයා සුමියුරු නදින් සත්සර
මගේ දෙනුවන් සදා තෙත් කර
ලොවට හිමි මට අහිමි නෙත් සර

පාන රංගන අතරෙ සුන්දර
නේක ගැයුමන් ඊට එක් කර
සාද මැද නුඹ සමඟ අප්සර
රෑක මං තනි යහනෙ පෙම්බර

ඇවිත් අත ගෙන නුඹෙ සුපෙම්බර
සමරු පොත් මැද අතරෙ ඔල්වර
අමතකව අද පෙම් කතන්දර
ඔසව ගන්නට බැරි හැඟුම් බර

වීණාවෙ තත් බොහොම පින්බර
නෑ පහස මගෙ සිතම දුක් බර
කෝ කොහිද මට ඇද්ද පෙම් කර
නේක ඇරයුම් අතරෙ මල්සර

ගෙදර ගතවෙන මොහොත ඇස් ඇර
සියක් ඇමතුම් සමඟ පත්තර
එපා මට ගොඩ මඩින් අක්කර
දෙන්න සෙනෙහස නොයා අත් හැර

දරා ගනු බැරි දුකින් කප්පර
අසමි දෙවියනි දෑත දික් කර
ඇතත් රන් මිණි විසල් මන්දිර
අනේ මං අසරණද කොච්චර

නුඹේ දෑසට දෑස් එක්කර
උන්නු එදවස යළි මතක් කර
නොනිමි කඳුළකි මසිත අද්දර
ලොවක් සනසයි නුඹේ අන්දර

තරංගා ජීවනී කිවිඳිය  25-7- 2013 දින කරන ලද නිර්මාණයකි . උපුටාගෙන පලකරන ලදී

Monday, February 29, 2016

අනියතයෙන් බිඳක්...!


-අනියතයෙන් බිදක්-

තට්ටය වසා දුටු විට වියු මකුළු දැලක්
සිකි පිල සරිව දිලි වරලස වුණා මතක්
ශ්වේතය දිනා කලු පාටට නොදී ඉඩක්
මවනා වෙනස ගැන නම් සිත සැලෙන හැඩක්

කෙදිරූ රහස් ඇසු දෙසවන වුණේ කුමක්
පිටු පස වැයෙන බෙර හඬටත් නොවේ වගක්
බැන බැන ලඟම හුන් අයටත් සුහඳ වතක්
නෑසුණු කනත් එක අතකින් පුදුම සැපක්

මිණි නිල් සරිව දිලි දෙනයන වගේ ළිදක්
ගල ගල කබ කඳුළු පෙන්වන අඳුරු ලොවක්
කළු සුදු නේක වෛවාරණ දුටුව නෙතක්
මග තොට සොයා ගන්නත් අද විඳින දුකක්

දසන් එදා මුව තුල බැඳි මුතු දෙපොටක්
වසන් වුණා නොදැනිම වී දිරූ වැටක්
සැලෙන රිදෙන කලු වුන දත් ඇතත් ටිකක්
කෑම පවා යුද්ධෙකි නැතුවාට හැඩක්

මිහිර මැවූ වීණාවක් වගේ හඬක්
සවන් පිනූ එදවස එය වගේ විතක්
දිව පටලැවී එන ලොල ලොල ගීය මිසක්
කවද ගයන්නද නැත යළි එවන් හෙටක්

පුර සඳ සේම දිදුළන විට සුසුදු වතක්
රන් රුව පවා පරයන අති සොඳුරු රුවක්
ඇකිලී ඉරි වැටී වැහැරී ගියපු සෙයක්
පඹයෙක් සිහි වුණා වැනෙනා මැදදි කෙතක්

තරංගා ජීවනී  කිවිඳිය   2013 මැයි මස 25 වන දින මුහුණුපොතට එකතු කළ නිර්මාණයකි .

දයාබර මරණය...!!!


-දයාබර මරණය

තැලෙන පෑරෙන මගේ හද කෙත සැනසුමේ බිජු වපුරලා
දෙනෙත් පුපුරා ගලන ලෝ දිය අනේ සදහට වියළලා
යළිත් කිසිදා නොඑන ඈතක මගේ පණ නල සඟවලා
දයාබර මරණය ඉතින් මගෙ ලොවට එනු මැන පියඹලා

වඳින වඳිනා දෙවොල හිස මත වැටී මා හෙම්බත් කළා
තනිව හඬමින් සැමට සිනහව පිදූ එක වරදක් වෙලා
අනේ තව බෑ දරන්නට හද යාවි සත් කඩකට පළා
ලබැඳි මරණය එන තුරා නුඹ ඉන්නවා මං මග බලා

ගිනි වැදී මගෙ ආත්මය දැවි දැවී අළු වන මොහොතෙදී
සීත පිනි දිය පොදක සිසිලස සොය සොයා දිව ඇත ඇදී
කිමද මරණය ගාට ගාටා ඉන්නෙ මේ හැටි වද දිදී
අනේ සැණෙකින් එන්න ආසයි ඉන්න නුඹෙ තුරුලට වැදී

සොඳුරුමැයි බද බදා අල්ලා කිසිත් නැති අත් හිස් මගේ
සෙනෙහසින් වට කරන් සිටි වුන් කිසිවෙකුට මා නැත අගේ
අඳුරුමැයි මගෙ ලොවම සදහට අමාවක ඇවිදින් වගේ
එකම තරුවත් නිවුණි මරණය එන්න මගෙ සුසුමන් දිගේ

රහසිනුදු පව් නොකළ වග දෙවියනි බලන් පොත පෙරළලා
රජුට වෙස්සන්තර තරම් නැති නමුත් හැම දේ කැප කළා
අනේ දෙව්දත් පරපුරම විත් මටම ගල් කුළු පෙරළලා
උන්ට හිනැහී ඉන්න මරණය මාව අරගෙන යනු පළා

තරංගා ජීවනී කිවිඳිය 14 June 2013 දින ලියන ලද කවි පන්තියකි .