කවි කියවන්න ආව අය

Showing posts with label ශාන්ත විජේසිංහ ( ශාවි). Show all posts
Showing posts with label ශාන්ත විජේසිංහ ( ශාවි). Show all posts

Saturday, July 2, 2016

බේබද්දාගේ බිරිය..

බේබද්දාගේ බිරිය
පෙම පුද කළේ ඔය හද මත මා---------------------------දුටුව
ඉම නොපෙනෙනා මුදු ගති සිඹලා----------------------තුටුව
කිම හිමියනේ සිට ආ දිනයේ---------------------------කැටුව
නිම වී ගියේ දෙවි ගුණ නුඹගේ--------------------------පටුව

මීවිත නුඹට අම රස ලූ පැණි----------------------------යකිය
ජීවිත අපට නීරස වූ නිර---------------------------------යකිය
වී ඇති වෙනස අදහා ගනු බැරි--------------------------සකිය
මා නෙතු අගට සැමදා හිමි කඳු-------------------------ළකිය

උසුළනු බැරිය හිමි සඳ රහ මෙර-------------------------දුඟද
පෙරදා වගේ නැත ඒ සුසුමන----------------------------සුවඳ
ලෝදිය බඳුන තුළ ගිළි කාරණ--------------------------කිමද
හිස ලෑ යහන සුව මදිවද මා-----------------------------ලමැද

වත්සුණු පුසුඹ නොව හිමියනි මා-----------------------ගතට
බඩ ගිනි දැනී හඬනා පුතුගේ---------------------------කුසට
කිරි ටික නොවැටෙනා විට දැනෙනා-------------------දුකට
වාවනු බැරිය මවකව මාගේ----------------------------සිතට

නොපතමි කිරුළු පළඳා රැජිණක----------------------වන්න
අභරණ කසී සළු ඕනෑ නැත----------------------------ගන්න
කෝ මගෙ මාලෙ අම්මේ මේ ගෙල-------------------ලන්න
පොඩි දුව අසන විට බැහැ දුක ඉව---------------------සන්න

බීගෙන පැමිණ තැලුවට මට ඉදි-------------------මෙන්න
හීනෙක පවා සිතුවේ නැත පළි----------------------ගන්න
රළු බස දොඩනු දරුවන් හට නෑ------------------හෙන්න
ඒ පින ඇතිය මතු දා නුඹ බුදු----------------------වෙන්න

ලෝකය නුඹට සැහැසිව ආ විට---------------------නිබඳ
බීමත එයට විසඳුම වූයෙද----------------------------සබඳ
හෙට ඒ ලොවට පිවිසෙන පුතු හා--------------------දුවද
දිවි ජය ගන්න යා යුතු යහ මග---------------------මෙයද
ශාන්ත විජේසිංහ  කිවිඳුන්ගේ නිර්මාණයකි (ශාවී)
2012.06.03

Tuesday, June 14, 2016

සමාධි පිළිමය අභියසදී බුදුහිමිට කී කේලම..!!

~~ සමාධි පිළිමය අභියසදී
බුදුහිමිට කී කේලම ~~

දුර මග ගෙවා ගෑටුවෙ තෙල් මල්...........ඇන්න
සිව් බඹ විහරණය වෑහෙනු දැක..............ගන්න
ඉර - කය දවන මුදු පුළුවනි ඉව..............සන්න
අවසර ! හිමියනේ පායුග නම................දින්න

සමිඳුනි, තුන් වරක් ඇවිදින් අතී...............තෙහී
සිරිලක පුරා හෙලුවට ප්රඥාවෙ................වැහී
බොදුනුවො කියාගෙන වැන්දත් කවුරු.....කොහී
බෙහෙතට එකෙක් නෑ ! ධර්මය සමඟ.......මෙහී

වසරට වාරයක් සමනොළ කන්ද...............නැග
දෙදණින් වැටෙති බුදු සිරිපා මළුව...............අග
බැති බරටමද මන්දා ! බොදුනුවන්...……....ළඟ
පස් වෙනි සීලෙ බිඳලති යන අතර…………මග

සත වෙත මහා කරුණාවෙන් දුන්නු….….බෙදා
සිරි මුඛ ද්වාරෙන් ඔබ දෙසු දහම..............එදා
චීවර දරණ උතුමන් පරසිද්ද....................සදා
දෙසුමට වඩින්නෙත් මිල මුදලටය……....මෙදා

සුදු පිරුවටෙන් සැරසී හැම පෝය………....කට
පුද පූජාද, පිළිවෙත් වුව ඇත....................එමට
මෙත් භාවනාවත් කියවති පුරුද්..................දට
ගෝනුස්සෝය එනමුත් පපු කුහර……….....යට

හැම දේකදිම දන පින ඉදිරියට..............හොවා
පිරිතක් කියයි ගෙදරදි බුදු පුතුන්...............ලවා
ලැජ්ජයි හිමියනේ ඉතිරිය කීම..................පවා
සඟ ඝන පිටවු සැන ඇත මත් වතුර............එවා

දනිමිය පොදුවෙ පර පන වැනසීම...........පවක්
දුන්නෙද ? හිමියනේ ගවයට වෙනම….තැනක්
මල බෙර ගහති දුටුවිට ගව ඝාත............නයක්
සිය ජීවිතෙත් පිදුවා එක සංඝ................නමක්

තවකෙකු කරන පව දැක වෛරෙන්…..…..ඊට
හැසිරෙන එකද අකුසලයක් වූ..................වාට
ඕවා තේරුණේ හිමියනි කොයි................කාට
උන්ගේ කරුම ගෙනියයි උන් යන…..…....දාට
(ශාවී) ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි .

Friday, March 11, 2016

වින්නැහිය ...!!

වින්නැහිය...

ගහ කොළ සතා සීපාවා කුරුළු-----------------නද
ගඟ, දිය අල්ල සිප හමනා පවන---------------මද
ඇසුරේ වැඩුණ මිනිසෙකු සතු කුළුණු-----------හද
දුලබය තරඟයක නියැලුණු නිසා----------------අද
.
විලි වැසි සොඳුරු සළු ගලවා මහ පොළො------වේ
ඇයි ? ගහ කොළට එරෙහිව අවි අත දැරු------වේ
පරිසර සොබාවට පරසිදු ලොව හමු-------------වේ
මේ රන් දෙරණ දවසක වැලි කතරක්-----------වේ
.
දැන හෝ නොදැන වෙන පරිසර-මිනිස්------හබේ
හොඳකට වඩා නරකට යන ලකුණු----------තිබේ
රුදු ලෙස කරන වින දැක මහ පොලෝ-----ගැබේ
හෙට හිරු පවා නැග ඒ දැයි සැකයි----------නුබේ
--------------------------------------------(ශාවී)
2013.03.29
ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි .

Wednesday, March 9, 2016

පළමු පෙම...

පළමු පෙම

ලාහිරු එළිය තුරු පතකට පළමු...........................වම
පෑයුව සදිසි විය ඔබ මට නිසැක...........................වම
දේදුනු පාට ගෑ සිහිනය සොඳුරු...........................තම
වා අණු අතර ඇති අප මුණගැසුණු........................බිම
.
දෙනයන වසඟ කළ දඹ රන් රුසිරු.....................ඔබේ
මතකය අතර මතුවේ ඉඳහිටක...........................ඉබේ
සැඟවී ගියද සඳවත සේ වළා............................ගැබේ
හදවත පහුරු ගෑ සලකුණු තවම.........................තිබේ
.
කුරිරුය ලොවම ! වදනට ගුරු දෙගුරුන්.................ගේ
ලොව හිස් තැනක් විය නොවෙනා තැන අප............ගේ
බොඳ සිහිනයක සිටියද විසුමට එක......................ගේ
රාක්ක පිරෙන හැටි නොදුටිමු මුළුතැන්..................ගේ
.
මේරූ සිතෙහි කලතා පෙර මතක........................කඳ
හාරා බැලූ විට වැටහෙන දෙයකි..........................අද
ආගන්තුක’වු හැඟුමක ඉකිගැසුණු........................හද
ආදරයකට වැඩියෙන් කිතියකිය..........................ලද
(ශාවී)

ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි .
2013.08.01

තාත්තේ...!!

පියා නැති දියණියක් මුණගැසුණි.
ඇය කී කතාව අනුව ඇයට මෙහෙම දැනෙනවා ඇතැයි සිතුවෙමි.
.
සමුදී ගිහින් සැතපී රියනක--------------හතර
ගෙවිලා ගියත් අවුරුදු දහයක්------------විතර
“ලොකු දූ” කියන ඔබෙ හඬ දෙසවන----අතර
රැව්දේ දෙනෙත බොඳ කර කඳුලින්-----නිතර
.
තම සුඛ විහරණය නොව අනුනගෙ-----සතුට
වෙනුවෙන් කැපව කටයුතු සිදු කළ-----නුඹට
දෙවියන් පිහිට නොවු එක පුදුමයි--------අපට
ජය හිමි වුනේ කෙලෙසද රුදුරු’වු------මරුට ?
.
උදාර පියෙකු සතු සෙනෙහස තිබුණු----ලයේ
මොනාද නැගුන සිතිවිලි අවසාන-------පැයේ
වඩාන උන්න මා පසෙකට දමා ---------පියේ
නොයාම බැරිම හින්දද ඔය ගමන-------ගියේ
.
ඔබ ගත් දිනේ සිට මරු අපගෙන්---------උදුර
මව ඉටු කළත් හැම දේ දැවටී------------නුදුර
මිලිනව වැටුණු පසු ඔය කේසර---------දෙඋර
බිඳුනා වැනියි රජ දහනක් රැකි-----------පවුර

----------------------------------------(ශාවී)
ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි.
2013.04.18

Monday, February 29, 2016

උපන්ගම ...!!

උපන් ගම
.
කඳු ගැට මතට නැග එන හිරු අඳුර.............නිවා
හිනැහෙන දරුවෙකුට සම වෙයි පෙනුම.......පවා
හවසට බසින විට එය තෙත පොළොව..........දවා
සඳ විත් සනසවයි යළි සොමි සිසිල............හොවා
.
මනහර ඔයේ ගලනා වෙල් යාය...............මැදින්
පැහැදිලි දියේ කෙළිනා මින් රැළකි.........සොඳින්
කෙළිලොල් වියේ කළ දෑ එහි සිහිව...........හදින්
මම නැවතුණා මැදිවී මතකයක................තදින්
.
නියඟේ දැවෙන ගිනි මහ වැසි දියේ............හැපී
පරිසර-යකිය සමබර එකිනෙකට................කැපී
විටෙකදි රැවූවට සොබාව දහම...................කිපී
වසරේ නොමැත දිනයක් මල් නොමැති..........පිපී
.
ධාරානිපාතයකදි භූ තලය...........................බිඳී
නෑ ගංවතුර ගැලුවේ ඉතිහාස....................යෙදී
නායක් නොගිය මේ බිම දත් කාලෙ.............කදී
ජීවය නොමැත පෙළුවේ දිය දහර.................සිඳී
.
උදයෙක නැගෙන හිරුගේ ලා කිරණ............රැස
තුරු පත සිඹිය යුතුමය දැක ගන්න................පස
විඳි විට කුරුළු, මී මැසි ගීතයක...................රස
විටෙකදි සිතුණි ගන්නට මට උන්ගෙ...........වෙස
.
මොණරෙකු, මුවෙකු, සාවෙකු දිව යනු.......දකින
සිහිලැල් සුළඟ නිරුවත් උඩු කය...............සිඹින
ලෙන්ගතු හිතැති සරල’වු මිනිසුන්...........වෙසෙන
මේ පරිසරය මට දෙව් ලොවටයි...............දෙවන
.
සිතිවිළි දෝලනය වී යළි නැවති..................තැන
ඉල්ලීමකිය හදවත තුළ ජනිත.....................වුන
කවදා කොතැනකදි ලැබුවත් මියෙන............දින
මේ ගම් පියසෙ මා මිහිදන් කරනු...............මැන
(ශාවී)

ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි 2013.10.01

ආදරය සුන්දරද මෙතරම්..?

ආදරය සුන්දරද මෙතරම්
.
සඳ දිය පෙරා සොමි සිසිළස දොවා................ගෙන
උදුරා සුවඳ මදනළ හා හමා.............................එන
විසිතුරු දැකුම්කළු දෑ සිත යටට....................පැන
සිතිවිළි නැගෙයි සියොළඟ කිති කවා.............ලන
.
පෙම්බර කිරිලියේ හදවත මිහිරි....................කළ
ලංකර මුවඟ හැකිවෙද සිපගන්න................ගෙල
පිංබර නිහඬ අවිහිංසක සුවඳ........................මල
කොච්චර දඟද නුඹ ! මා දුටු සිහින..................වල
.
මොණරෙකු , පරවියෙකුගේ ගති රැගෙන....ගෙනා
ආඩම්බරය, හුරතලයද එකට.........................අනා
නුඹ සැරිසරණ විට මා හද කුටිය....................පිනා
ලොව තුළ කිසිත් නැත මට එහි නුඹම...........විනා
.
දිදුළන තරුව, සඳවත, දේදුන්න.....................කඩා
සසඳා බැලූවෙමි දෝතට රැගෙන.....................වඩා
සයුරද රුදුයි විටෙකදි රළ නගන...................හඬා
නුඹ සියුමැළියි මේ හැම දේකටම...................වඩා
.
නොකියා පැමිණ නුඹ සිත යට රඟන.........වෙලේ
ලොව ඇති සියළු රස කැලතේ සිතැඟි.........දොළේ
පාවී ඈතකට පෙණ පිඬු බිඳෙන....................රළේ
සුන්දර රහස මේ මහ මුහුදේම......................ගිළේ

(ශාවී)

ශාන්ත විජේසිංහ කිවිඳුන් 2013.12.06 දින මුහුණුපොතට ලියූ කවි පන්තියකි . නිර්මාණ අයිතිය ශාන්ත විජේසිංහ කිවිඳුන් සතුය .

Thursday, February 11, 2016

රියැලිටි තරුව

රියැලිටි තරුව
විදුලි මිණි එළි රටා මැව්වා අවිදු අඳුරක් නෙතඟ......................රන්දා
නුහුරු ඇඳුමින් ගත සැරසුවා රැඟුමෙ හැටියට ඕනි...................හින්දා
නේක දුක් විඳ දිළිඳු දෙගුරුන් තැනුව කඳ මස සිට................උපන්දා 
සැලුන තාළෙට ඇස් යව යවා මුලදීම උන් සිතින්....................වින්දා

සමත් කම් ගැන වගක් නැතුවම පුළුල් තිරයට වරම්.............පෙන්නා
පිඹුරු, සැලසුම් සකස් කෙරුවෙත් තරු පහේ බිම් වලට........ගෙන්නා
මිහිරි බෝජන, නුහුරු මිදි යුෂ අන්තිමම මතකයයි.................දන්නා
හිරු නැගෙනකොට මිදුණු සළුපිළි, සිඳුණු බඹසර අතර..........උන්නා
විකල්පය ඊළඟට දුන්නම හඬන්නට නෑ කඳුළු....................තිබුණේ
රකින්නට තව දෙයක් නැති කල “හා” යි දුරුවල මුවින්........නැගුණේ
ගෙවුණු හැම රැයකදිම ඉන් පසු සඳෙත් මූසල කමයි..........පෙනුණේ
නිච්චි නෑ එක හැඩ රුවක්වත් සළෙලුන්ගෙ - තනි රැක්ක.......යහනේ
ඉඳිකඩට වී සුසුම් ලන්නේ අප්පච්චි බව දුරදි.....................පෙනුණා
ගෙදර උන් හට ගෙනා කද මළු හෙණ හඬින් මහ පොළොවෙ.වැදුණා
දෑස බිඳගෙන ගැලුව ගඟුලෙන් මොණර කොල මිටි මඩිය.....පෙඟුනා
කොටහුලේදී අම්ම කී දෑ අසිහියෙන් මතකයට...................නැගුණා


(ශාවී)
2015.12.08

ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ කවි පන්තියකි. ඔහුගේ  අවසරය මත උපුටාගෙන පල කරමි..