කවි කියවන්න ආව අය

Showing posts with label ආර්ය ගමගේ. Show all posts
Showing posts with label ආර්ය ගමගේ. Show all posts

Friday, June 3, 2016

අසන් මෙපුවත...!!

අසන් මෙපුවත ලියම් කවිකර දරාගත හැකි වේද........ කියනු
දනන් සමහර මෙබිම වසනා කරයි අමතක යුදය........ දරුණු
උපන් මව්බිම දෙකඩ කරනට එදිරි රණවිරු පුතෙකි... රුහුණු
මෙවන් විරුවන් විඳින සැප ගැන ඔබ දකින දේ මෙහිම ලියනු

සටන අවසන් විය සිරිලක සැමරුවා නිදහස.............. එදා
පිහිට විය යුතුමයි සෙනේබර විරු පුතුට දිවි තෙක්...... සදා
පාදයක් නැත සෙබල පුතුගේ ගමන බොරු කකුලක් යොදා
ඔහුද ගොඩවුනි බසයකට පෙර කිහිලි කරුවක් ගෙන... බදා

බෙදා වෙන් කර ඇති අසුන් එහි ගසා දැන්වීමක්...... ඇතේ
බිඳී අත පය විරු පුතුන් සහ ගර්භනී මව් වරු.......... වෙතේ
මිනිස් වෙස් ගත් සුනඛයෙකු විය විරුට හිමි අසුනෙහි මීතේ
මුදාගත් රට මුන්ට නිදනට නුඹට හිමි ඇසුනද.........නැතේ

දෙනෙත ඇර මේ අධම මිනිසා නොරිස්සුම් බැල්මක් හෙලා
පුතුගේ අත ඇති කිහිලි කරුවද ඉල්ලුවා ඔහු හද........ තලා
බසින විට ඔබ ගමන අවසන දෙන්නෙමි ඔහු සන්...... කළා
වීරිය ගෙන ගත සිට ගෙනද ඇත රණ බිමද සිහිපත්..වෙලා

සියලු මුඛවල් ගොළු වෙලා ඇත දුටු නමුදු මේ ජඩ වැඩේ
විවර වූවා මගේ කට හඬ කෙලෙස ඉවසමු දන....ගොඩේ
සතුරු බැල්මෙන් නැගිට සිටියා සිරවෙලා සිටි සේ. මඩේ
නිහඬ සිටි අන් දනන් කටවල් අගුලු හැරියා..... වක්කඩේ

මිනිස්කම් අද පලා ගොස් ඇත මුදල් මත එය ඇත.....රැඳී
දහම් අසනා නිරන්තරයෙන් බෝ දනා අකුසලෙ..... බැඳි
ලියන්නට නම් තවත් දේ වෙති යහගුණය නැත හද...සිඳී
කියන් මිතුරනි නුඹ සිතන දේ කොතෙක් ලිව්වත් ඉඩ මදී

ආර්ය ගමගේ කිවිඳුන්ගේ නිර්මාණයකි .

Saturday, March 12, 2016

ඉංදියාව....

Arya Gamage
2 March 2016

චොප්රා ප්‍රියංකා නිළියගෙ වත කියනා
දැක්කා පුවත පෙරදින කව්දෝ ලියනා
ඔස්කා සම්මාන උළෙලට ඇය අඳිනා
වස්ත්‍රා භරණ මිලියන දහයලු වටිනා

රහසක් නොවේ දුප්පත් කම භාරතයේ
දහසක් දනන් මහමග සිඟමනේ ගියේ
පොහොසත් උන් ටිකයි සහසක් හාමතයේ
සෙවනක් හිසට නැති දන ඇත සඳේ ලියේ

කුසට අහර නැත චිත්තර පටි බලතී
නළු නිලියන් දැක්කම උන් බඩ පිරෙතී
තනවා දෙවොල් දෙවියන් සේ වැඳ පුදතී
නූගත් දනන් බොහො සේ දඹදිව වසතී

ඉන්දිය සයුරෙ අයියා සේ හැසිරෙන්නේ
උන්ගෙම දරුවො මග නහිනවා කුස ගින්නේ
ලිව්වම මෙකවි දැක සමහරු නලියන්නේ
සිංහල ලොක්කො ඇයි පසු පස ලෙවකන්නේ

ආර්ය ගමගේ කිවිඳුන්ගේ නිර්මාණයකි

ඇය...!!!

Arya Gamage
2 March 2016
ඇය...!!

විටෙක නළලත සිපී මව මෙන් සෙනේ තව වැඩි උනා වේගේ
සයනයේ පෑ අනග රැගුමන් හුරුවුනේ සුර ලොවෙන් වාගේ
දුකේදී යෙහෙළියයි සනසන සැමට නොලැබෙයි මෙවැනි දීගේ
පියඹ නුඹ ඇයි දෙපා වැන්දේ නෙතේ කඳුලක් පනී මාගේ

කුරුළු ජෝඩුව විලස සයනේ සෙනෙහසින් හද වැතිරිලා
තුරුළු කරගෙන දෙඩු වදන් යයි දෙඅදරින් ගඟ ලෙස ගලා
කෙවිලියක නැගු කූජනය වන් මිහිරි තෙපුලින් සනසලා
නා රජුන් වද රකින උරඟන සේ නිදයි ගත දැවටිලා

වරෙක දිවයුරු සේම සැඩ වෙයි තව විටෙක දදරද ලෙසේ
සිසි කිරණ විහිදුවයි දසතම නිල් විලෙහි පිපි පියුම සේ
ගතෙහි රුධිරය කිරට හැරවුයෙ කෙලෙසදෝ නොදනිමි මෙසේ
මවද පියඹද යෙහෙලියද පෙම්වතිය නුඹ හද තුල වෙසේ

ආර්ය ගමගේ කිවිඳුන්ගේ නිර්මාණයකි

දඩයක්කරු හා මුවඟන..

දඩයක්කරු සුරත දුනු හී මාන ගෙන
මියුලෙක් පසු පසින් වනයෙහි හඹා යන
පවසිත් නොසිත දඩ මසටම ලොබ බඳින
උගුලක් ඇටවු තැන සිරවුනි මියුලඟන

අවි අත හැරුනි දුටු විට මුවඟනගෙ වත
සවි ගෙන බැමි ලිහා නිදහස ලැබුණි ගත
දිවි ඉල්ලා යදින කඳුලැලි පිරි දෙනෙත
දුටු සඳ සැලුනි දඩයක්කරුවාගෙ සිත

ඔසවා ඇයව මුදු වදනින් සනසමිනේ
රඳවා සුව කළා රුහිරය ඔසු සෙවනේ
සරනා විටදී ඔහු තනියට වන අරණේ
සෙවනැලි සේම නිරතුරුවම ඇය රැඳුනේ

රුදු සිත මෙලෙක් වි අවි බිම අත හැරියේ
දිවි මග වෙනස් වී යහගුණ පිරිනි ළයේ
පැටලුනු උගුල හොඳ පැත්තට හැරී තියේ
මුවඟන කිසි දිනක නැත ඔහු දමා ගියේ

ආර්ය ගමගේ කිවිඳුන්ගේ නිර්මාණයකි
04/03/2016

කාන්තා දිනය...!!

කාන්තා දිනය..!!

ජාත්‍යන්තර ලඳ වෙනුවෙන් වෙන් කෙරෙනා අද දින
ආඩම්බරයෙන් සමරමි ගෙයි සමගිය රැක ගෙන
පෑමෙන් සෙනෙහස වැඩිපුර තුටු කරවා ඇගෙ මන
රෑනම් යන්නට සිතුවෙමි භෝජනයට පිට තැන

මතකෙත් අද නැත පියඹට පෙර මෙන් වැඩ බෝසේ
පැතුමන් ගෙන මුළුතැන් ගෙට ආවෙමි සන්තෝසේ
"සමයන්"යන මුදු වදනින් සමගින් උපහාසේ
හසරැල් මුවඟින් නැගුනා ඇසුවම පරකාසේ

මම නම් ඇය ගැනම සිතා දවසෙ අඩක් ගන්නෙමි
දහවල් පැය දොළහම ගෙන ඉතිරි කොටස දුන්නෙමි
සමතැන් ලද පියඹට මා හැකි ලෙස සලකන්නෙමි
මුළුතැන් ගෙය මට බාරයි අද විවේක ගන්වමි

"මගෙ වැඩටික කරගන්නම් ඔහේ ඉන්නව ගෙට වෙලා"
එක දවසක් අපිට මොටද ගනු ඒකත් තමුසෙලා
තුන්සිය හැටපස් දවසෙම ගත දහ දියබිඳු හලා
වෙන් කරනවා මුළු වසරම මට කල ගුණ සලකලා

අහගත්තා පාන්දරම ඇගෙ හරබර දේශනේ
විලිලජ්ජාවේ බැරුවා පොඩිවුන් හිනැහෙනු දැනේ
දැනගත්තා තව බොහොදේ මෙහි ලියන්න බෑ අනේ
සමරන්නේ කොහොමද මිත පුළුන් ගහල මගෙ කනේ

ආර්ය ගමගේ කිවිඳුන්ගේ නිර්මාණයකි
08/03/2016