කවි කියවන්න ආව අය

Showing posts with label සම්පත් කුරුප්පුආරච්චි ( රියල් මචන් ). Show all posts
Showing posts with label සම්පත් කුරුප්පුආරච්චි ( රියල් මචන් ). Show all posts

Friday, March 11, 2016

මල්ලිගෙ ( මළ දරු උපත)

මල්ලිගේ (මළ දරු) උපත

නුරා රස අනවසරයෙන් දුන් දෙදරු දරු ගැබ ඔසවලා
සුරා මත අම්මටත් බර ඇති පියා දුර පිට මං වෙලා
උරා සුසුමන් නුඹෙන් ලං වෙන ජීවිතේ මිට මොළවලා
හොරා ලෝකෙට මගේ අභිමුව ඌ දුරක් පියමං කළා..

බලා මෝරන කුසේ හැඩ වැඩ නොදැක අසරණ ජීවිතේ
හිනා වෙන හඬ ඌට ඇහුණලු සෙයිලමේ උන් මාවතේ
හඬා වැ‍ටුණම වත්තෙ හාමුගෙ නාමෙ ඉල්ලා දහ අතේ
ලියා දුන්නලු අපේ අවජාතකේ කඳුලැලි ඈ නෙතේ

බඩට අන්නසි ගැට නොදුන්නේ දරා නෙක නින්දා හිසේ
‍රැයට නොදු‍ටුව පතිනි අම්මල ඇයට හිනැහෙනවා ඇසේ
කහට උගුරට නොවන අවනත හඬන හඬවල් හිස් කුසේ
උඹට මට බඩගිනි දැනෙද්දී කිරට හරවන්නේ කෙසේ..?

මෙවැනි ලෝකෙක හමුනොවන්නට පතා මා අත අල්ලලා
මැකී යන ලෙස මහමෙරක් බර ඇගේ කුසයෙන් හෙල්ලිලා
කෑ ගහද්දී ඌ වගේ තව දහක් ජීවිත ඉල්ලලා
පෙකනි වැල ගෙන ගෙලේ ඔතලා මල්ලි මැරුණා එල්ලිලා

සම්පත් කුරුප්පුආරච්චි (Real Machan) නිර්මාණයකි ..

ශෘංගාරය හා විචාරය...

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

23 January 2013

බුදු රජාණන් වහන්සේ අභිමුව පැවත් වූ ඒක පුද්ගල සංගීතප්‍රසංගය, ශෘංගාරය හා විචාරය...

අරා දෙව් බඹ සියක් සේනා පුරා නුඹ ගැබ හැම දෙසේ
දරා වීණා පංචසිකයන් තව්තිසා පුරයෙන් බැසේ
ඉරා පාවෙන වළා තීරය සක් දෙවිඳු ඒ මැද දිසේ
දරා ‍රැස් හිස ඉන්ද්‍රසාලෙහි කුටිය මැද බුදු හිමි වෙසේ

සුරද අසුරද මවිත කරවන වෙන නදක් පුරයට ඇසේ
පරදනා හැම නදම ඒ හඬ හරිමිදෝ දෙසවන් කෙසේ
පුරඹ හා විඳි රසය බුදුහිමි සවන් පිස යයි රිසි ලෙසේ
එරස හිමියන් නිහඬ සවනත මධුර ස්වරයක් සේ වැසේ

පිපුණු නෙළුමක රෝස පාටින් පිරුණු කලවා යුගලට
වැ‍ටුණු දෑසේ නුරා මා සිත නොහැක ගලවා ගැනුමට
සරනු මා පපු තුරා සොඳුරිය හොවා එය මා උකුලට
හලනු රාගික සුවඳ වත්සුණු පිබිදි ආශා සයුරට...

පෙරා සඳ කැන් ගෙනා නොයිඳුල් දෑස දිදුලයි තරු වගේ
සොරා එක ඇස් කොනක් පමණක් බලා යයි මා වත දිගේ
මරා මරු නැති උණත් ආශා හිමියනේ බුදු වූ මගේ
උරා ඒ රස මලක් සේ මම සැතපුණා සිරුරත ඇගේ...

සොඳුරු අරනක කිඳුරු දෙව්දුව සිහිනයකි කළ්‍යාණිය...
මැදුරු නැතුවත් ආදරේ බැඳි රාගයේ ගැසු ධරණිය
ඉහිරුණා හිමියනේ මා සිත නුඹ ළඟත් හිර නොව්නිය
අඳුරු කඩ තිර මතදි හමුවෙන සුන්දරයි ලොව ගැහැනිය..

නදින් නුඹෙ වෙන මගේ හදවත අපමණක් සුවයෙන් පිනා
රසින් නැහැවින මියුරු සත්සර අමාගඟුලක් සේ උණා
ළඟින් තැබුවිට නුඹෙ මියුරු හඬ වෙන නදත් එක්කර මනා
ලෙසින් ගැළපෙයි රනට රන්රස කලතනා සේ මෙහි අනා

බිත්ති තිබුණත් සෙවණ සිදුරුව තෙමී යයි නිවහන් වැසූ
රුවැති සියලුම දේ අනිත්්‍යයි ඔබද මා හැම ඇස ගැසූ
නත්ථි රාගෝ සමෝ අග්ගි පංචසිකහට හිමි දෙසූ
නොවෙති ලොව රාගයට සමවන කිසිදු ගින්නක් අප ඇසූ...

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

ඈ මගෙ පෙම්වතියයි...!!!

Real Machan  සම්පත් කුරුප්පුආරච්චි

17 January 2013

ඈ මගේ පෙම්වතියයි...

ඉළුවේ නැතත් ඈ නිය පොතු වල පාට
තිබ්බ‍ටු, පලා ඇන්දා ඒ මත කහට
ගස්ලබු පිපිඤ්ඥා පෙති නැතුවට රෑට
මුහුණට එළිය වැ‍ටුණා හද පිරි පෙමට..

මුවදොර පිටියෙ ඈ හවසට නැත දිව්වේ
දිය පිරි කළය ‍රැඳි ඉඟ දෙවඟන මැව්වේ
මුහුලස සැලුන් නොදැකයි සුළඟේ දිව්වේ
රන් කෙඳි හිරුගෙ පැහැයෙන් පන්සිළු නිව්වේ..

ඇහි බැමි නැතත් පැන්සල් කොටයෙන් උලලා
දේදුනු වලා යට සැඟ වුණි ඈ දැකලා
වයිවර්ණයෙන් ඇස් ඇතුළට එළි ඔබලා
නැතුවට ඇගෙ නෙත් ආදරයෙන් පිරිලා...

බෝතල් හලා නැතුවට රතු මත අදර
සීතල ලවන් පෑ නෙළුමකි දයා බර
වැරහැලි ඔබා පුම්බා නැති රන තිසර
මා හට අයැදිනා සේ ඇත වෙලා හිර…

හිර වුණ ඩෙනිම පරදන ඇගෙ ඉඟ නෙරිය
වැසු පුළුලුකුළ රිය සක සම වනු බැරිය
බොළඳ ලියන් මැද හිනැහෙන ඇගෙ දිරිය
එවැනි ළඳක් කවි සිය දහකට සරිය...

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි .

කංසා යහපත් ලෙස සමාජ ගත කරමු..!

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

12 January 2013

කංසා යහපත් ලෙස සමාජ ගත කරමු..!

ක‍ටුපිල මිටක් හා මුසු කළ කන්ස ටිකක්
චූරණ ඉස්ම හා බොනු මී කිරි උගුරක්
දවසට වරක් ගෙන හරි හැටි එක සතියක්
අර්ශස් රෝග පලවා ගනු දිව ඔසුවක්

ඉංගිරිසින්ද මවිතව ගිය අපේ බල
මැව්වේ උදේ කිරි හා මුසු කන්ස කොළ
මැල්ලුම ළපටි දළු බත් පත එළිය කළ
හැඩි දේඩි පරපුරක මැව්වා ඇත්තු පෙළ

කෝටි ගණන් වටිනා හේනට පැනලා
ජාතික වස්තුවක් උන් යයි ගිනි තියලා
විදේශයට වසරක් මේවා යවලා
ඒයි බැරි දාන්නට තියනා නය ගෙවලා

කන්සා මතින් මත් වී ගෑනිට ගහන
දු‍ටුවේ කව්ද වාහන හැප්පී තිබෙන
ගුටි කෙළි පරුෂ වදනින් මග සරිසරණ
මත් ලොව උපාසකයෙකි ගන්ජා උරන

ධාරණ ශක්තියට හෙළ ඔසුවකි කන්සා
නැත පෙනහලු වලට මල ඉ රුවත් හිංසා
තිත නැති මතට නිකොටින් රකුසා වනසා
බැලුවොත් වටී මේ ගැන නුවනින් විමසා...

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

සාජහන්ගේ අටවෙනි පව්ලට හෙවත් මගේ නංගීට....!!

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

25 December 2012

සාජහන්ගේ අටවෙනි පව්ලට හෙවත් මගේ නංගීට....!!

තෙමා මතකය දවා හදවත ගලා යයි යමුනා නදී
දමා ගිය මා නිසල සිරුරකි නමුත් සෙනෙහස ඇත ‍රැඳී
නිමා කළ ඒ වසන්තය අග උවත් යහනත නිදි බිඳී
සමා වෙනු ඒ මගේ නැගෙණිය උඹේ ළඟ කිමදෝ නිදී..?

බොළඳ ආදර ගරුඬ මැදුරත ආදරේ හෙළු වැලි වනා
විළඳ පොවනා ගිරවි දහනක මලවි ‍රැඟුමන් පා වෙනා
නොලද එළි දාහතර වැනි පුතු සිහිනයක් සේ මට ගෙනා
එයද සැපතකි උඹේ සුවයට වඩා මරණය සැතපෙනා

සියක් පෙති ඇති මලක් මත බඹරෙකිය සිටි පර වෙනතුරූ
ගොඩක් මැද මා තවත් බිරිඳකි ආලයක් නොව පිවිතුරූ
සඳක් සේ ලෝකයට පෙන්නූ කිඹුල් කඳුලැලි නිදි වැරූ
අතක් අල්ලා මගේ නැගෙණිය දුක නොවේ ඒ කය දැරූ...

නිරුවතින් බබළනා තව ඇති ටජ් මහල් ආදර ලොවේ
සාජහන්ලා හමුවෙලා ඇති බෙදා දෙන ආදර් සුවේ
රාගයට මිස ආලයට ලොව වඩා වැඩි ආයුෂ නොවේ
නැගෙනියනි නුඹ මධුවිතකි ගත් නැති වෙනා තුරු රස දිවේ....

-මුම්ටාස්-

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

හිඟන්නාගේ මරණය හෙවත් පොරකගේ නික්මයාම ...!!

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

18 December 2012

හිඟන්නාගේ මරණය හෙවත් පොරකගේ නික්මයාම.........

පෑගෙන පාවහන් වල දූ විල්ල වැදී
පීදෙන කැකෑරෙන වණයට විඩා නොදී
ජීවන සුසුම අවසන් බිඳු පිටට ඇදී
නොහඬන මල ගෙයක මිනියක් වැතිර හිඳී....

ටකරන් බෙලෙක් මහ මග සොලවා සරන
අට පහ මුරය බස් තෙරපිලි නොම දකින
හතරට නැවී ලොක්කන්ගේ පා ලොවන
උන් ළඟ රජෙක් විය ඔහු සිඟමන් යදින…

ඉනි වැට නොමැත ගහ ගන්නට හතර වට
ණය පොත් නොමැත බැංකුවෙ ලිය වුණ නමට
අය වැය බදු බරින් තොර වූ දිවියකට
කෙළවර ළඟා විය දුක ඒකයි හිතට....

විල්ලුද පලස් රස මසවුළු වල සුවය
දු‍ටුවද නොලැබ පසු විය හැත්තෑ නවය
වැහුවද අපිත් ණය වී ශෝභන බවය
මතුවද හිඟන්නෙක් නොවෙණා එක පවය...

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

ප්‍රේමය නම් රාගයෙන් තොර ...!!

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

12 December 2012

ප්‍රේමයනම් රාගයෙන් තොර...

කතර බට වැහි පොදක් වන් සිත මතින් ගලනා ස්නේහයේ රස
අතුර දිය මත ඇගෙ සිනිදු වත මා එළිය සඳ කිමිදි එහි බැස
සතර අත සක් හඬින් නළවන මිහිරි තෙපුලින් මද පවන් ඉස
අඳුර එනු නුඹ ගැබට හෙමිහිට වසා නා දළු ‍රැඳුණු තුරු හිස

පිපෙන නෙළුමක සුවඳ මුසු කොට තැනූ ලවනත පොපියනා යස
කෙසේ සිප ගනිමිදෝ නවතා ඇගේ හුරතල් සොඳුරු මදහස
බලා දිදුලන දෙනෙත් තරු කැට කුමට වසමිද දෙතරු අවපස
නොසෙල් වෙන සිත කිසිත් නො අසයි ඇගේ දයාබර උණුහුමම මිස..

රාගයෙන් තොර නැගෙන මධු සඳ ප්‍රේමයෙන් වැඩි ගිරි මුදුන් පිස
වරණ නිදි රෑ පමණි සේව්වෙ බිඳින කෙහෙ‍රැලි ඇගෙ සිනිඳු හිස
කල්පයක් තව සිටිය හැකිනම් තබා ඇස් දිදුලන උවන දෙස
මධු සමය නම් එයම පමණයි ආදරේ වැහි වැටෙන යට කුස..

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි .

වැන්ද ඇති ගෙදර යං අම්මේ....

Real Machan සම්පත් කුරුප්පුආරච්චි

29 October 2012

වැන්ද ඇති ඉක්මන්ට ගෙදර යං අම්මෙ....

සල් ගස් සුළං අවිදින් බඳ කරකැවෙන
පුල් ඇස් බලං හිටියේ පුන්සඳ උවන
තෙල් හිස් පහං ළඟ ඈ දෑ තින් හැලෙන
මල් වැස්සකින් බිඳුණා අම්මේ දැහැන..

නුවනට වඩා හුරතල් දෑඟිලි සැලෙන
අඟලට වඩා දිග අති සායද වැනෙන
මකරට පවා කෙළ හැලිලා යට තොරන
කැටයට ඇරුණු කට පාටක් නැත වැහෙන

වැලි මලු දිගේ ඈ පා සටහන් ඇන්ද
‍රැලි පෙරළුවා මගෙ හිත බොරුවට වැන්ද
ගුලි වී හොරෙන් එබෙනා හංසයො වින්ද
විලි සංගයක් ඇති මට නැති හැටි නින්ද..

නච්ඡද ගීත වාදිත දස්සන මාලා
කොච්චර අපූරුද හැට්ටයෙ අත් කපලා
අච්චර වැස්සෙ හිමි හිස සිටි සෙවණ වෙලා
පච්චය අතේ නා රජිඳුන් මතක් කළා

තුසිතද තව්තිසා සහ තව ඒ වගෙ උන්නේ
අඟනුද මෙහෙණ දැන් උන් සේරම ඉන්නේ
පුන්සඳ තාම බෝ ගහ උඩ කැරකෙන්නේ
කොහොමද අම්මේ හිතකින් නිවනට යන්නේ...?

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ නිර්මාණයකි.

Wednesday, March 9, 2016

බේබද්දාගේ විරහව...!!


බේබද්දාගේ විරහව

සරා සඳ මොන හත්තිලව්වද එදා නම් උඹ ඒ වගේ
වරා මල් සුළඟේ ගසා යයි ඒත් එක තැන හිත මගේ
ජරා කොල උඩ දිය වෙලා යන සුදෝ සුදුවන් දුම දිගේ
විරා දුක් ගිනි පා කලා මම ‍තෝ එපා ආයෙත් නගේ....

බුර බුරා යන ගිනි සිලක් මැද පුලුන් ගුලියක් වන් කුඩා
වෙනස් වී යන ගෑනු හිත් ලඟ කුමට දන නවමිද හඬා
ආදරෙන් මිස තනිකමෙන් නැත ජීවිතේ කිසිදා විඩා
මගේ ලඟ හැමදාම දැවටෙන දුම වටී ඒකිට වඩා

ලවන නාදලු තිසර රනහස උකුළ වී නම් රිය සක
ඉරිද දෙල් කඳ පොලේ ලාබෙට කෑලි කර විකිනිය හැක
කවියො උපමා මිසෙක නැත අලු යටින් පුපුරන ගිනි දැක
විලඳ ගල්වා පුයර තැවරූ වැනිය උන් ගිනි අවියක..

ටජ් මහල්, නම් කුමට තනමිද මනමෙ කුමරිගෙ නංගිට
ආදරේ නම් වරද යලි නොම කරමි හැර දුම් වැටියට
සිංහ ගිරියේ අප්සරාවක් වගේ තවමත් උඹ මට
රූපෙ තිබුනට හදවතක් නැති නිසා ඒ තුල කරුමෙට....

2013 මාර්තු මස 18 වන දින සම්පත් කුරුප්පුආරච්චි ( රියල් මචන්) කිවිඳුන් විසින් කරන ලද නිර්මාණයකි .

(A) සම්මතය...!!


(A) සම්මතය..
හලා මීදුම් සළුව තණ මත නිශා නිරුවත් කළා ඇගෙ වත
වළා අතරින් එබෙන සඳ වත රීදී අහසට වගේ පතිවත
සලා පිනිබිඳු නුහුරු සුවඳට තෙත් වෙලා විල සුපිපි සියපත
ගලා හැලෙනා සිහින සයුරක පා කළා රාගයේ නිරුවත..

ගසා සිය වත වනස්පතිනිය තුරුල් වී ඇත හමන සුළඟට
වසා කඳු හිස වැ‍ටුණු කළුවර බර වෙලා ඇත අලුත් පෙමකට
නිසා දෝ මහ වැසිවලින් උස ගං ගලා විත් පුරුදු සයුරට
තිසා වැව මත දඟ කළා ‍රැලි වෙනද නැති ලෙස සිනිඳු වැල්ලට..

උණා සළුපිළි ආදරේ නම් විසි කළා නිදි යහන් අද්දර
කණා මැදිරියකගෙන් අසුවා කොහේදැයි රාගයේ නිම්තෙර
සිනාසුණ ඈ තවත් මොහොතක් අඳුර මැද වී මා වතට බර
විනා බිරිඳට කෙනෙකු නැති බව සිහි කළා තව ලොවේ පෙම්බර..

සම්පත් කුරුප්පුආරච්චි  (රියල් මචන්) කිවිඳුන්ගේ නිර්මාණයකි
8 February 2013

Tuesday, March 8, 2016

සදාචාර

සදාචාර

රව්ම් කරපු ලියුම් යවපු මංගල යෝජනා තීර
මිල රුව වතුපිටි කුල ගොත් නිසා බිඳුණ එකක් නෑර
හදවත රන්මුවා වුණත් වටිනාකම් නොමැති කෲර
සමාජයක තනිකඩයෙකි සරණක් නැති සදාචාර..

දෙවැට අයිනෙ ඇස් දලවා ගස් සෙවනක වැඩුණු මාර
කෑලි කැපෙන පඳුරු ගුලක රැක හිටියා අන්ධකාර
කොමල ලියන් ගිල ගනිද්දි පහළ ඇලේ වතුර පාර
නොලබන නොදකින සිහිනය බලන් හිටියෙ සදාචාර..

බසයක දුම්‍ රිය මුල්ලක රාගික රූ විසේකාර
සාක්කුවේ පරිස්සමට රැක හිටියා පාට කූර
පොදු වැසිකිළියට වැදිලා හිත වද දෙන හැඟුම්දාර
පියයුරු ඇඳ කුණුහරුපෙන් කවි කෙරුවේ සදාචාර..

මුදලට අබිසරු මැදුරක පහස පැතුවෙ කෝඩුකාර
කුදලාගෙන ගුටි බැට කෑ හැසිරීමට අනාචාර
ගාර්මන්ට් වැඩ රෑ නිම වී තනිමග හුරු පුරුදු පාර
සමන්ලතා ගෙදර නාවෙ ඇයිද දන්නෙ සදාචාර...

Real Machan @ සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන් ගේ නිර්මාණයකි.

Monday, February 29, 2016

මේ හරි පාරද ??


මේ හරි පාරද..??

නිවැරදි ලෙස ධර්මය ගති නම් කෙනෙකුන් සිතට
ඔහු බුදුහිමියන් දකීවි ඉන් නිවැරදි ලෙසට
නිර්මල බුදු බණ දර්ශනයකි වැඩි ආගමට
ඔළු ගෙඩි විතරක් වදලා කුමටද බොදු නමට..?

බේරුවල ඉඳන් හිටගෙන කළුතර බෝධියට
සීට් එකක් නැති සීයා නොපෙනුණෙ නිදි මතට
හිමියන් බෝ මැඩ හැර පිට දී නම් පොල් රුකට
උන් සේරම කොළඹ ඉඳන් හිටගෙන මාතරට..!

බුදු හිමියන් කරුණාවයි මේ හැම තුන් ලොවට
ඒ වගේද දෙවියන් ලනු හොඳ නෑ කෝපයට
බෙලිගෙඩි අඹ පත්තක්කා මොනරා ඒ උඩට
ඉතුරු උණොත් වැඳ ගෙන යමු මල් අපි දා ගැබට...!

ගමේ පංසලක් ඇති බව වත් නොදන්න උන්ට
රහත් වෙන්න කෙටි ක්‍රමයකි දිව යයි දඹදිවට
විහාරයේ හාමුදුරුවො වැඩියා මරණයට
ටී වි එකේ බණ කියනා හිමියන් දානයට...!

දන්න දවසෙ ඉඳන් ටිකට් පංසලෙ පිං කමට
ඇතුළට යන විටම කඩයි මැරුණ උන්ගෙ නමට..
සෝපාකල රහත් උණේ ඒ කාලෙම පිනට
විසි තිස් දාහයි හිමියනි දැන්නම් බණ පැයට.....!

සම්පත් කුරුප්පආරච්චි (Real machan ) කිවිඳුන්  14 May 2013 වන දින ඔහුගේ මුහුණුපොතට එකතු කළ නිර්මාණයකි .

ඈ මහෙස්ත්‍රාත්වරිය නම් විය...


ඈ මහේස්ත්‍රාත්වරිය නම් විය...

සා පිපාසිත ඇතෙකි මා දියමංකඩක යදමින් බැඳී
රෝස මලකට ළං වුණා යැයි මල පිපෙන්නට ඉඩ නොදී
වාන් දමනට ළංව සමුදුරු සොරොව් දොර ළඟ පෙළ සැදී
තාම සඳ නැත පේන මානෙක නුඹ වසා මහ උළු නිදී....

කතර සරසන එකම පැන් පොද නීතියේ ලෝගුව දමා
හෙටත් එන්නට වරම් දෙනු එහි නැතත් වරදට මට කමා
මරණ දඬුවම වුවත් කම් නැත සියුමැලියි ඒ හඬ තෙමා
ගලා යයි සීතලට හදවත වැලඳ ගමි මම හිස නමා...

හෙටත් කළුවර ගලා යයි සිර මැදිරි අතරින් අත වනා
සඳත් ඇඳ ගමි සිහින අහසේ වළා අතරින් පායනා
නැතත් දිය පිරි විලට පා යුග තබන්නට විරි ළංවෙනා
නුඹත් වැස්සකි අහස නොහැළූ මගේ දා බිඳු සේදෙනා....

වෙනද නොදැනෙන යකඩ කූරුත් අතට අද මොලකැටි වගේ
එකවරක් විදුලිය කොටා නෙත් සිහි කළා ආයෙත් ඇගේ
කාලෙකින් දූවිලි මකා සිත පුරවලා හැඟුමින් මගේ
රූරලා වැහි බිඳු ගලා යයි නොනැවතී මහ උළු දිගේ..

සම්පත් කුරුප්පආරච්චි  (Real machan ) 2013 අප්‍රියෙල් මස අට වන දිනදීය..

වල් බල්ලාගේ පාපොච්චාරණය....


වල් බල්ලාගේ පාපොච්චාරණය ....

නැතුවට මැදුරු හිස් අහසේ හිස ‍රැඳුනු
එක අගු පිලක් ඇති දූවිල්ලෙන් පිරුනු
දේදුනු මුතු මැණික් කලුසුදු වට පෙනුනු
සරලය ජීවිතය හෙලුවැල්ලෙන් ගෙවුනු...

රජ ගේ රිදී දම් වැල් බැඳ ගත් කරට
උන් බිරුවාට අපි දු‍ටුවම බලු කමට
උඹලගෙ උනුත් චන්දෙන් ගොස් ඒ තැනට
වැ‍ටුනම හිතුනි වෙනසක් නෑ නොවැ අපට...

මව් පිය වරුන් පාරට විසිකළ පුත්තු
පීඩිත දනන් අමතක නායක ඇත්තු
මැද සිත අපේ නොමැරෙයි බත් පත ගත්තු
වලිගය වනා හෝ ගුන සලකයි සත්තු...

පාරේ දෙනෝ දහ මැද අත පය කපපු
නීතිය අතට ගෙන චූදිතයන් මරපු
උන් දු‍ටුවාද බල්ලෙකු, බල්ලෙකු හපපු
පිලිගෙන වරද වලිගය දෙකකුල ගහපු..?

නීතිය රකින බිරිඳකි හිර කල ගෙදර
ලාබෙට සොයයි පිට කො‍ටුවේ අලි පේර
සංස්කෘතිය නම් කඩ තිර පට නෑර
උන් හෝටලේ බල්ලන් සේ මහ පාර...

මිනිසුන් නවන කල නොමිනිසුනට ඔලුව
හවසට අපේ ලඟ නිදියන විට සලුව
වෙනසක් නොමැත වහගෙන හිටියට හෙලුව
දාහෙන් සැපකි ඉපදෙන එක වී බලුව...

සම්පත් කුරුප්පආරච්චි (Real machan)  කිවිඳුන්ගේ නිර්මාණයකි .
2013 පෙබරවාරි 17

Friday, February 26, 2016

කතරගම දෙයියන්ට එක්සෑම්..!!

කතරගම දෙයියන්ට එක්සෑම්...!!

කැඩියන් උගේ පාරක අත පය හතර
කපුරු සුවඳ කහ ගැල් වූ පොල් වතුර
විසි වී බිඳේ දේවාලයෙ ගල් අතර
පොල්සම්බලට පොල් බෑයක් නැත ගෙදර

නඩුවට කලින් ආයුධ සෙව් චූදිතයන්
මහ මග යද්දි අරගෙන ගිය අය මැරයන්
අඳුනක් යවා උන් සොයනා වැඩිහිටියන්
සී අයි ඩීයෙ වැඩ අද අංජන දෙවියන්

මෝචරි ඇරල වැඩ වර්ජන දොස්තරලා
හදිස්සියෙන් ආවම යයි අත් කපලා
අඩු ගානකට ලෙඩ ටික කපුවට කියලා
සුවයක් පතමු ග්‍රැජුවට් දෙවියෙක් හොයලා..

ඒ එල් කුමට ලොකු කොල්ලා කොලු රෑනේ
සා පෙට ගියපු පොඩි කෙලි කාමර ගානේ
ශිෂ්‍යත්වයත් පොඩ්ඩට පේනා මානේ
අම්මා පුදයි දෙවිඳුට පළතුරු දානේ

කලනය, ගුරුත්වජ ත්වරනය අනු හැඩය
ශාකය ක්‍රියා කාරී සත්වය උඩය
පොලී කුලී සාහිත්‍යයෙ කවි ගොඩය
කැම්පස් නොයන කඳ සුරිඳුන් බර වැඩය

සම්පත් කුරුප්පආරච්චි (රියල් මචන්) කිවිඳුන්ගේ
" පස් කන්දක හුස්ම ගනිමි"  කාව්‍ය සංග්‍රහයේ එන කවි පන්‍තියකි. ඔහුගේ අවසරය මත උපුටා දක්වමි.

Thursday, February 11, 2016

ප්‍රේමය, අලියා සහ අන්ධයා...

ප්‍රේමය, අලියා සහ අන්ධයා...
බේරෙ වැව ළඟ හමන හුළඟත් කරන මල්වර සුවඳ රන්දා
පේන මාණයෙ හංස යුවලක් අකීකරු කෙහෙ ‍රැල්ල බින්දා
හීන තැවැරී හිරිවැටී යන නුහුරු සිතුවම් හිතට කැන්දා
ආදරේ නම් අකුරු පටලන විධිය කොහොමද අනේ මංදා...!
ඈත සියුමැලි කෝල දෙකොපුල් උරා බොන මදුරුවන් රෑනකි
මෑත පිම්බුණු තිසර දන්දෙන වටේ ඇස් කන් නොමැති ගාණකි
ආලයෙයි රස මීවිතෙයි සුව වඩන වෙරළත් අමුතු පාරකි
සාලියගෙ කර උඩට නැගගත් අශෝකාවන් පිරුණු යායකි...
රෑට නිදි නැති නිසා වෙන්නැති දවල් නිදි සුව සොයා ඇදුණා
සීත කාමර පිරුණු විට වැට-කෙයිය ගාලෙත් සයන හැදුණා
පෝය අටසිල් උදේ පන්සිල් ගන්න කාකින් කුදල ගන්නා
මේක වින්නැති මිනී මරණා රටක දරුණුම වරද හිතුණා...
නීල කලු සුදු නේක සිනමා රසය මතු වෙනවාද විය හැකි
රෑක කළුවර ඇඳුණු කුටියක විවේකයටත් බනින යුවලකි
කෑම නැතුවත් දින ගණන් කෙටි පණිවිඩෙන් කුස පිරෙන බේතකි
"ප්‍රේම නගරයෙ හුදෙකලාවත් පංච ඉන්ද්‍රිය විඳින සුවයකි..!"




සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ  (රියල් මචන් ) "පස් කන්දක හුස්ම ගනිමි" නම්  කාව්‍ය සංග්‍රහයෙන් උපුටා  දක්වමි...

තනිකඩයාගේ හැන්දෑව...

තනිකඩයාගේ හැන්දෑව...
ගලා හිරිකඩ වෙලා මා ගත වසා ගත්තා අකීකරු හිත
උලා හැන්දෑ රක්ත පෑ මුව හිනැහුනා හිරු මැදින් මධුවිත
වළාකුලකට නොදී යන්නට ගලවලා සඳ ඇගේ ඇඳිවත
හලා ඇත බිම තෙමී යන්නට ලෙසින් සීතල සිඳුණු පතිවත
වැතිර කළු ගං කොමලි වැලි මත උස් පහත් වී කරන පෙරළිය
වතුර මත සුදු බි‍ඳෙන පෙනකැටි ඉපදුවා ඇගෙ මලවිකරලිය
අතුරලා පිනි සරාගී පෙති පුම්බලා වගෙ පිපුණු අරලිය
දෙව් ර මත නැග බිම නවාගෙන සුළඟ අතවර කරන තුරුලිය
වැටෙනු තව මට බර වෙලා පා විදාගත් තණ ලියකි අබිසරු
එතුණු ඒ මත කුමරු මී දුම් කරයි රමණයෙ ඇගෙන් මුලකුරු
බැඳුණු වේගෙන් ලිහෙන දිය‍රැලි වෙරළ නිරුවත් කරන විසිතුරු
නැගුණු අහසට තෙමුණු ගල්පර සයුර පිම්බූ වගේ පියයුරු
නැගෙන බාඳුරු පුරුෂ ලිංගය නොහැකි වී යනු උන්ට මගහැර
සිඹින කෙඳිරිලි සුරතාන්තයේ කෘමි කතුන්ගේ ඇසේ අඬහැර
ලිහන නුබකුස වැටේ මුහුලස මගේ තනිකඩ කුටිය කළු කර
ගැහෙන දෑඟිලි අතර දුම්වැටියක් සිනා සේ හැඟුම් අළුකර

සම්පත් කුරුප්පුආරච්චි කිවිඳුන්ගේ  (රියල් මචන් ) "පස් කන්දක හුස්ම ගනිමි" නම්  කාව්‍ය සංග්‍රහයෙන් උපුටා  දක්වමි...