කවි කියවන්න ආව අය

Showing posts with label ශෂික මධුරංග කරුණාරත්න. Show all posts
Showing posts with label ශෂික මධුරංග කරුණාරත්න. Show all posts

Friday, March 25, 2016

ඇඟලුම් දිවිය...

ඇඟලුම් යුවතියක තම ආදර අම්මාට ලියා යැවු ලිපියකි.

--- ඇඟලුම් දිවිය ---

ඉතින් කොහොමද අම්මෙ සැප දුක සනීපද ................ අප්පච්චිට
අරන් දුන්නද එවපු මුදලින් බෑගයක් මගෙ ................... මල්ලිට
නෙතින් වැටෙනා කඳුලු සඟවා ඉඩ කඩක් ලැබෙනා .............විට
හොඳින් කියලා කියන්නේ බය වෙන නිසයි නුඔ ........... ඇසුවිට

උදෙන් අවදිව උයා ගන්නව දවල් රෑටත් ..................... එක්කම
කඩෙන් කෑවොත් ඉතුරුවක් නෑ සැරයි මාසික ............... වියදම
වදෙන් බේරී යන්න හිතලා කන්න බෑ දැන් .................. කිව්වම
බලෙන් හරි නුඹ කවනවා මට හිටියනම් තව ............... ගෙදරම

මැෂින් එක ලඟ වාඩි ගත්තම ඔලුවෙ ටාගට් ................. පුරවන
බනින්නට කට උල් කරන්මයි අපිව බලනා ලොකු ........... තැන
ලෙඩින් උන්නත් කවුද අහනව දාන්නේ ඔතනට ............. වෙන
වඳින් නැති එක විතරමයි අපෙ වේදනාවන් එන ................. දින

මගෙන් ඇහුවත් යාලු වෙන්නට නිතර දකිනා ........... කොච්චර
පුදන් නැතුවයි මෙතෙක් හිටියේ මතක් වී පෙම ............. ඉස්සර
බයෙන් ඉන්නට එපා යන්නෑ වනතුරා මෙය ................. ඉස්තිර
පෙමින් බැඳුනා ගිය සුමානේ විද්ද හින්දා ..................... මල්සර

ගමෙන් ආ දින ඉඳන් ගෙවනා දිවිය පිළිබඳ ................. ඇහුවම
වරෙන් හනිකට කියන හින්දයි නොකිය හිටියේ ඒ ........... හැම
නිකන් ගියොතින් මගුල දවසේ සනුහරේ කැත වෙයි ......... නම
කරන් තව ටික කලක් ඉන්නව අම්මෙ මේ ............... රස්සාවම

--- ශෂික මධුරංග කරුණාරත්න ---

Wednesday, March 16, 2016

හොටෙල් කාමරයක ඇඳක් කතා කරයි..!

,,, හොටෙල් කාමරයක ඇඳක් කතා කරයි ,,,

කොහෙන් පටන් අරන් කොහොම මේවා ලොවට කියනු ........ කෙසේ
හොරෙන් හොරෙන් ඇවිත් මෙහෙට විඳගන්නව අමුතු ...............රසේ
හෙමින් හෙමින් කරන කියන දේවල් මට පෙනේ ....................ඇසේ
බයෙන් බයෙන් මුලින් පසුව බලන්නෙපැයි තියෙන ..................විසේ

දන්න කියන නිරතුරු එන ගිය සතියෙත් ආ... ....................... යුවලක්
මෙන්න මෙහෙම කියනු ඇසේ ළඟදිම වෙනවා ......................පවුලක්
දෙන්න තියෙන අවසන් දේ දෙනතුරු නෑ මට .......................නිවනක්
ගන්න ඉතින් මොටද පමා අද ඒකට හොඳ ..............................දවසක්

සතියට කීයක් ඉවරද ඔයාට නම් ගානක් ..................................නැති
රතියට හුරු වුණු දා සිට කොච්චර මං බිව්වද ............................පෙති
මැණිකට නිසි වටිනාකම අරගෙන ආවට නුඹ ............................නිති
හනිකට යමු දරු දෙන්නගෙ පන්තිය දැන් ඉවරත් ...................... ඇති

ලස්සනකට පිළිවෙලකට ඉන්න වෙහෙස වුනත් ......................නිතර
ගැස්සෙනකොට පැද්දෙනකොට අපිරිසිදුයි වටේ ......................හතර
එළිවෙනකොට එක දවසක් නැකතට ආ යුවළ ......................... අතර
හරි හරියට කතා ඇසෙයි පතිවත ගැන නොකර ........................නතර

වයස වුනත් කඩවසම්ය සල්ලි හොඳට ඇත ............................වාගේ
හවස අරන් ආපු කෙල්ල වයසෙම මිනිහගෙ ............................ දූගේ
නිවස බලා යන්න ළඟයි හඬ මිස වැඩ නෑ .............................. ඈගේ
දවස නිමයි දිවි ගෙවන්නෙ විකුණ විකුණමයි ...........................රාගේ

අලුත් වැඩක් දැනගත යුතු අපෙ ලොක්කන් හදා ....................... සිදුරු
සළුත් පිළිත් නැතිවෙන හැටි බලයි තැනක ඉඳන් .......................අඳුරු
මලුත් ගලුත් ඕන එකක් මම රැක්කා නොගා ............................ අඟුරු
යලිත් යලිත් මෙහි ආවොත් වගකීමක් නෑනෙ ...........................මිතුරු

ශෂික මධුරංග කරුණාරත්න  කිවිඳුන්ගේ නිර්මාණයකි .

ඉරණම...!!

,,, එකට මිය යෑමෙන් පසු එකට හමුවුණු හතර දෙනාගේ පිළිසඳර ,,,

බුදුන් ඉපදුණු අපේ මව් බිම මෙහෙම කම්පාවක් ................ කළේ
නුදුන් හින්දද අභය දානය සතුන්හට තිරිසන් ..................... කුලේ
යොදුන් ගානක් සුවඳ විහිදී පිපී මල් සෙනෙහස් ...................විලේ
රිදුන් දුන්නත් මතක් වී මගෙ පැටව් දැන් කිමදෝ................. ඵලේ

නුඹට ඕවා මතක් වූවත් මගේ ඔලුවට එන්නෙ ....................මෙව්වා
රටට පෙනුමට ගෙනා ඇය හා සෑමදා ගෙයි පහන් ................නිව්වා
බහට කන් දී බැංකුවල තිබු රහස් අංකත් ඊයෙ .................... කිව්වා
රවට ගෙන හද බිරිඳවත් ගෙන කවුරු යාවිද මසිත ...............සෙව්වා

මවගෙ ඇයගේ අදහසක් මත හදා සැලසුම් .................... තිස්සෙම
දිවගෙ දිව ගා සිටියමුත් මා ගියේ නිලතල .......................පස්සෙම
අපගෙ ලොක්කට දෙන්න කියලා රාජකාරිය ...................අස්සෙම
නුඹගෙ නැති දොස් මවා පා දා ලිව්වා පමණයි ................ පෙත්සම

තෙවන පුතු හා පවුල වෙත මගෙ තිබු නමුත් පෙම ...............ධාරක
දැවෙන ගින්දර නිවාලන්නට ගියේ වැරදිම ..........................පාරක
නිවනෙ යන්නට උජාරුවකට අරන් සතියකි .................... කාරෙක
ලබන අල්ලස් වලින් සිටියේ ගෙවන්නයි ණය .................... වාරික

වැඩැක් නෑ අප කතා කරලා දුක් වුනත් තව මේ ....................... ගැන
පවක් වෙන්නැති සසර කළ ලොකු ඉවර වෙන්නත් ඇති ............ පින
නිමක් නෑ ලොව එකට ඉඳලා කපන වලවල් වෙන ..................වෙන
එකක් කිව හැක මෙහෙම ගියොතින් වැලලෙනවමයි දැන ..........දැන

ශෂික මධුරංග කරුණාරත්න  කිවිඳුන්ගේ නිර්මාණයකි

Wednesday, March 9, 2016

නිසල පුතු දැක...!!

දිවි නසා ගත් තම දරුවා දුටු දෙමව්පියන් කියන කතාවකි.

--- නිසල පුතු දැක ---

ලැබුණු ආරංචියට ආවේ හනික පුතු ගැන ..................... බලන්න
පෙනුණු දේ අදහන්න බැරි වී කඳුලු ගත්තා ................... ගලන්න
බිඳුණු හදවත හින්ද ඔය ලෙස හැකි වුණා නම් ............... කරන්න
හැදුනු හැටි උඹ දන්න අපහට හැකිද මේ දුක .................. දරන්න

පිදුව සෙනෙහස නොතිබුනා නම් මහා මෙරකට ......... දැනෙන්න
වැදුව දවසෙම අපට තිබුනා කානු පල්ලක ..................... දමන්න
සිතුව නම් කරගන්න කලියෙන් හැකිද කියලා ............... දිනන්න
පුතුව පුතුටම අහිමි වෙන්නෑ එයාවත් හැක ....................ලබන්න

මැණිකෙ වටිනාකමත් අඩු වෙයි තිබුනොතින් පොඩි ........ පලුද්ද
පුතුනෙ ඒ ගැන බියක් දැනිලයි වුනේ උඹලට ................. විරුද්ද
අපගෙ තිබුනා නොමග නොයවා හොයා බලනා .............. පුරුද්ද
උඹගෙ කල ආවාම කරගන් කිව්ව එකදෝ .................... වැරැද්ද

ඔහොම ප්‍රශ්නනද අපට ආවේ දන්නෙ නෑ ඒ ................. කෙරිල්ල
නැහැම තිබුනේ බේර ගන්නට සින්න විය තිබු .............. වලල්ල
බොහොම කුස ගිනි වුනත් තිබුනේ එකම පැතුමයි ........... හැදිල්ල
කොහොම හරි උඹ නලව ගන්නට අරන් ආවා .......... තොටිල්ල

කුසට ආ දින ඉඳන් මේ තෙක් වින්ද දුක් වෙයි .................අසංඛ
පුතුට සැඟවූ ඒව නොදැනයි ඊයෙ කෙරුවේ .................. විතර්ක
හිතට වාවා ගන්න බෑ දුටු නිසල දේහය ..........................තිවංක
උඹට අද ලංවෙච්ච කෙනෙකුට වුනේ කොහොමද .......... අවංක

ශෂික මධුරංග කරුණාරත්න  කිවිඳුන්ගේ නිර්මාණයකි.

කියන් හිමියනි ...!!

ජනපද කලණිගේත්, නන්දගේත් විවාහයට බාධා කළ හේතු පිළිබඳව බුදු හිමිහියන් වෙත ගොස් ජනපද කලණිය විමසන ආකාරය. ( පේන තෙක් මානයේ නන්ද තෙරුන් සක්මන් භාවනා කරයි ).

,,, වෙන් කළ වරදට ,,,

ආපු කාරනෙ එන්නටත් පෙර පේන්නැති නේ දිව .................. ඇසින්
දීපු දුක් ගින්දරට හේතුව ආවේ මම අහගනු .............................රිසින්
කාපු බත් පත තනිව අරගෙන යන්න බැරි නුඹෙ බොරු ........... බසින්
පාපු සෙනෙහස නන්දගේ සිත වෙනස් කළෙ ඇයි ඔය ........... ලෙසින්

පැතුම් පැතුවා බොහෝ කල් සිට පුදන්නට මම ......................පතිවත
ගතින් ලංවී කිසිම දවසක ගිලිහුනේ නෑ ................................ඇඳිවත
ලඟින් ඉන්නම් සසරෙ හැමදා කියපු මාගේ .........................පෙම්වත
දුරින් ඉන්නේ නුඹ නිසාමයි උර දරාගෙන . ......................... කහවත

බැන්ඳ ප්‍රේමයෙ නාමයෙන් මා හනික ඇවිදින් කැන්ද ..............යාමට
එයිද කියලා ඇඟිලි ගැන ගැන හිටියෙ ඉවසා ඔහුගෙ ................කීමට
නන්ද අර බිම බලන් යද්දී වාව ගෙන හද ඉන්න බෑ ................... මට
ඇයිද උපදෙස් දුන්නෙ ඉන්නට මාව නන්නාඳුනන .................ගානට

නුඹේ උපතේ අපලයයි මේ ගෙවන්නේ එය පසක් .............. කෙරුවා
සුදෝවුන්ගේ බිරිඳ නැතිකොට මල්ලිටත් එය අහිමි ..............කෙරුවා
සුවේ සොයමින් යන්න කලියෙන් ඇගේ දෙතනට කිරිත් ......... එරුවා
මුවේ ඇති කිරි සුවඳ විඳ විඳ බිම්බ දේවිය කඳුළු ...................පෙරුවා

රුවෙන් පිරි සුරඟනක් දෙන්නට කපු කමේ නුඹ යනෙන .......... අතර
දැවෙන්නට වුණු මාව පෙන්වා අපේ ප්‍රේමය කළා ....................නතර
දිවෙන් දිව ගා හිටපු සනුහරෙ ගාපු දැලි සිහි කරයි ...................නිතර
භවෙන් භවයේ විඳින්නට වෙනවමයි යන්නට කලින් ................එතර

,,, ශෂික මධුරංග කරුණාරත්න ,,,

හෙදියකගේ දිවිය ..!!

හෙදියකට දොස් නැගූ පුද්ගලයෙකුට හෙදිය කියන කතාවකි.

--- හෙදියකගේ දිවිය ---

දෙපා රිදෙනා තුරා දිව රෑ ඇවිත් බැලුවා තිබු ....................... උණ
උපා යොදමින් බෙහෙත් කෙරුවා ලෙඩා නොදනී ඒ ............ ගැන
පපා සෙනෙහස බැලු නමුත් දැන් යන්න හදනව මට ............. බැන
එපා ඔය ලෙස දොස් නගන්නට කරණු හරි හැටි නොම ......... දැන

අපට තියෙනව වෙන වෙනම දී පතිකාර වල .................... විස්තර
අලස වෙන්නෑ බලන්නේ සැම දිවි කරන්නයි .................... ඉස්තිර
අදද හෙටදැයි සුව ලබන්නේ ඒක දන්නේ ..................... දොස්තර
අහන අහනා සෑම දේටම කොහොම දෙන්නද .................. උත්තර

ඔබට හැකි නම් එක දිනක් මේ ලෙඩුන් එක්කම ............... හිඳින්න
රසට අනලා රෝහලේදිම කෑම වේලත්.......................... බුදින්න
බනින එක නවතලා හෙදියක් වෙලා මොහොතක් ............ හිතන්න
කරන මෙහෙවර මිල කළේ කොහොමදැයි මාහට ........... කියන්න

දුවා දරුවන් ගැන බලන්නට සැමට මෙන් නැත ................. කාලය
සොයා යද්දී හිතේ සැනසුම පාලුවී ගෙයි .......................... සාලය
නිවා දාහය සතප ගන්නට බැරිව රැකෙනව ........................ සීලය
දමා සැරසී යන්න තහනම් රන් මුදුව හා ............................ මාලය

අපේ යුතුකම් නිසි කළත් නිති සොයන්නේ පොඩි ............ ඇදක්ය
සිතේ සතුටින් ගෙදර යන්නට කෙදිනවත් බෑ .................. දුකක්ය
අනේ දන්නව ඇඳේ වැතිරී ඉන්නෙ ලඟ නෑ ............... කෙනෙක්ය
ඔබේ අම්මා වුනත් මට නම් මෙහි තවත් එක ............... ලෙඩෙක්ය

--- ශෂික මධුරංග කරුණාරත්න ---

Friday, February 12, 2016

දැනේ වෙනසක්...!!

-- දැනේ වෙනසක් --

පවසගන්නට බැරිව යහනට වෙලා හිටියා පැය ............. දෙකක්
ඉවස ඉන්නට තවත් නොහැකියි පුරුදු ලෙස ආවා ...........සිතක්
දවස තුල කුස ගින්න එන හැටි දැනෙනවලු මව්නට .........හුඟක්
දිවස අද කෝ තවම දන්නෑ බලෙන් අරගෙන බොන ....... බවක්

හිතේ ඇවිලෙන ගින්න දන්නව තනිව නම් විඳිනට ............. බැරී
ගතේ වාරුව එදා ගත්තේ අනාගත බලමින් ........................ සිරී
නැතේ මෑතක රහට බීවේ ගලා යනවද එරි ......................... එරී
පුතේ කියලා තුරුලු කරගෙන නින්දෙවත් දෙනවද ...............කිරී

ලියා මොනවා කරනවද ඔය විටෙක හිනැහී නැටි ................නැටී
පියාගේ තැන හිතෙනවද වෙන කාට හරි දුන්නොත් ..............වටී
ඔයා එළිවෙන තුරා හිටියත් කමක් නෑ මෙහි වැටි .................වැටී
කියා දෙනවද අම්මෙ මාහට ඇඳුම් ඇඳ ගලවන ....................හැටී

නැහැම කියලා දාල යන්නේ පියා ගිය බව දැන ............... දැනත්
බැහැම නොකියා හදපු පින ඇති නුඹට මා දැන් බර ...........උනත්
ඔහොම පීරා මුහුණු පොත් පිටු පුරා නම හෙව්වා ................වුවත්
කොහොම වත් මගෙ ඉදිරියේ තහනම් කියන්නට ඒ ......... නමත්

දැනේ වෙනසක් ඉවෙන් වාගේ ලංවුනේ තව ................... කාටද
ගෙනේ සැකයක් ළගට ඇවිදින් ඔහුත් යන්නට ..................යාවිද
පැනේ මේකයි ළඟම නෑයෙක් මගේ දිවියට ...............‍....... ඒවිද
අනේ සැලකිලි මල්ලි ආවාම එකම හැන්දෙන් ................. දේවිද

-- ශෂික මධුරංග කරුණාරත්න --

කිරි සුවඳ

-- කිරි සුවඳ --

එකම වෙනසයි උඹලගෙයි මගෙ පියා උන්නා මා .............. ලඟ
අධම ලෝකය මව් ඇකෙන් වෙන් කරල දැම්මා මහ ........... මග
දිගම සුසුමක් හෙලුනෙ එනිසයි මතක් වීලා ඒ .................... වග
පවම ගෙවනව යලිත් තනිවම කඳුළු හිර කර නෙත් ............. අග

මුවට තන පුඩු ගතට උණුහුම නැතිව ඉන්නැති නිදි .............වරා
දිවට මිහිරක් නොලැබ කොපමණ කලක් හිටියද දුක. ......... දරා
හෙටට බඳුනක් අරන් ඇවිදින් රසට කුස පුරවන ................ තුරා
දැනට හනිකට බීල දාපන් පොළොව ගන්නා පෙර ............. උරා                                                                                                                                       

පියාණන් මගෙ හුරු කළා මට තනිව කට ..............සොලවන්නට
ගියා එදවස දෙපා කකියන තෙක්ම කිරි ..................විකුණන්නට
දයාවක් ඇති මිනිස් හද තුල වරම් නැතිනම් ....................ඉන්නට
කියා දෙන්නේ කවුද උඹලට හම්බකර ගෙන .................කන්නට

මමත් හැදුවා මටත් ඉන්නව උඹල වාගෙම ...................... පුතාලා
අදත් ඇඬුනා උදේ එද්දිත් වෙනස් වී අද ........................... එයාලා
කළත් කොච්චර අගේ නැතිමුත් වේල හරි හැටි .............  සොයාලා
මළත් යුතුකම් කරනවා හැකි ලෙසට සුර පුර .................... මවාලා

ඉඹලමයි පෙර ගියේ සැමදා එද්දි පාරට පැන ......................... එතී
කියලවත් බෑ හදාගන්නට කවුරු හරි ගැන ඇත ..................... සිතී
දුවල ඇවිදින් මගේ සුවඳට තුරුළු වී ලඟ හැර ........................ හතී
උඹලවත් මා එනතුරා මග බලන් හිටියොත් මට .................... ඇතී

--- ශෂික මධුරංග කරුණාරත්න  කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරමි . මෙයින් උපුටා ගන්නේ නම් නම් කරුණකර නිර්මාණ කරුගගේ නම සඳහන් කරන්න.

වැලට බරවූ වැලේ ගෙඩියක්..!!

වදා තම පුතුව ඇලකට විසිකර දැමූ අම්මාට රෑ සිහිනයෙන් පුතා ඇවිත් කී කතාව.

--- වැලට බර වූ වැලේ ගෙඩියක් ---

ඇලේ මිලනව ගියේ කොහොමද නොකීවත් දන්නවා ......... ඒක
කුලේ නම්බුව වගේ තව තව ප්‍රශ්න එකපිට ආව ............... නේක
පිලේ පැදුරක් එලාගෙන වත් ඉන්න බැරි වුණි එකම ......... ගේක
වැලේ ගෙඩියක් වැලට බර වූ අහඹු සිදුවීමක්ද ...................මේක

නුබේ තරුවක් කරනවාමයි අනෙක් අම්මල වගේ ................ මාද
ඉබේ වත් මගෙ පුතා කියවී එහෙම පැතුමක් ............... ගෙනාවාද
ගැබේ දැඩිවන මටම කියලා මැහුවෙ කවදද සිනිඳු .............. සේද
නුඹේ ලෝකෙට නොකිය ආවට වෛරයක් ඇති වුනා ....... නේද

මගේ පුතුහට තබන්නට හොඳ නාමයක් පත්තරෙන් ............තෝර
අගේ කර කර සොයල මොකටද සැලසුමේ ලෙස උරුම ........පාර
ගඟේ මුහුදේ නොදා අල්ලපු ගෙදර කිරි නැති නැන්ද ............ භාර
ඇගේ දරුවා නොදුන්නේ ඇයි ගම්මු අසනව හාර................... හාර

දැනේ රසයක් නුඹත් සමඟින් සෑමදා ඉන්නටයි .................... ආස
අනේ කෝ ඔහු කිව්ව ඇහුනා නිල් නොවේ නම් ගේමු .........රෝස
දිනේ ගැන ගැන හිටියෙ විසිකර දමන්නයි සති ගනන් ........... මාස
තනේ කිරි බිඳු වියලුනාදෝ බාලගිරිගේ වැදී ....................... දෝස

හිතේ තිබුනත් අම්මෙ නොකියා හුස්ම ගිය ඒ ................. වේදනාව
නෙතේ කඳුලක් ගිලිහුනේ නෑ දන්න හින්දා ................... කාරණාව
නැතේ කහටක් මෙහෙම කෙරුවට අනාගතයේ පා ..............සිනාව
පුතේ කියලා කියා ගන්නට නුඹට වේවා ......................... වාසනාව

ශෂික මධුරංග කරුණාරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත උපුටා පලකරමි. මෙයින් උපුටාගන්නේ නම් නිර්මාණකරුගේ අයිතිය රැකෙන සේ කටයුතු කරන්න..

මුසාවක් නොව..!!

දෙපා නැති දරුවා ළඟට ගොස් විස්තර අසන අයෙකුට දරුවා කියන කතාව.

--- මුසාවක් නොව ---

නිදා ගත්තා ඇතිය හොඳටම කියන මේ අවසාන ............... වාරේ
හදා දුන් ‍තේ හනික බීපං ඇසෙයි ඇයගේ................... දෝංකාරේ
වදා මේ ලොව ජනිත කෙරුවත් ඉවර වී ඇත තිබුණු........... සාරේ
උදා හිරු පිබිදෙන්නටත් පෙර ගිහින් තබනව පුරුදු .............පාරේ

මවා බොරුවක් කියන්නේ නෑ පේනවානේ කරපු .............. පාපේ
දවා හදවත පිච්චිලා යයි දකිද්දී වෙන අයගෙ ..................... රූපේ
වවා කන්නට බෑ තමයි මට ඉපදුනත් මේ උතුම් .................. දීපේ
රවා යන එන අයට කිසිවිට වදින්නට නම් එපා ................. සාපේ

උලාගෙන යන උඹේ පස්සට නිතර කලිසමෙ අන්ඩ ........... ආවේ
එලා කොලයක් ඔතන ඉඳපන් එහෙම වෙන්නැති බවයි ....... කීවේ
මලානිකවම වගේ මේකයි තවම නෑ දවසටම ..................... කෑවේ
බලා උන්නට මොකද මන්දා අරන් බත් මුල අම්ම .............. නාවේ

දසා හොඳ නැති වුනත් දිවියේ ළඟට ඇවිදින්................. දුප්පතාගේ
අසා විස්තර ගෙනත් දුන් බොරු කකුල් ඇතිමුත් නොදයි .......මාගේ
මුසාවක් නොව හිටිය නම් සළකනව කියනව හිමිය .............. ඈගේ
උසාවිය වෙත නිතර යනවලු ඔහුගෙ නැතිවී අනෙක් .............. දීගේ

සොයා සල්ලිය වැඩක් නෑ මට දැනෙන දුක් ඉවසන්න ......... බෑනේ
කියා ගන්නට බැරිව ගොලු වෙන වදන් එළියට එන්නෙ ...... නෑනේ
තියා ඇලයට වගේ නොන්ඩිව යන්න බැරිනම් පේන ........... මානේ
ඔයා ඉඳි කටු වලින්වත් ඇන මගෙ දෙනෙත් අඳ....... කරන්නෝනේ

--- ශෂික මධුරංග කරුණාරත්න ---

බේබද්දෙකුගේ කතාව

තරුණයින් නිතර හමුවී සතුටු වන අසල් වැසි ගෙදරට ගොස්
ජීවිතයේ සැඳෑවිය ගෙවනා බීමත් අයෙකු කියනා කතාවකි.

--- බේබද්දෙකුගේ කතාව ---

සතුටුවන හැටි පේනවා නිති ඉන්න බෑ තව .............. බලාන
උතුරවන සෙනෙහසක් තියෙනව හංග ඉන්නේ ......... දරාන
මිලින වනමුත් වරක් හිනැහී පිපි මල් පෙති .............. හලාන
මහලුවන මට හැරමිටිය කෝ කවුද දෙන්නේ ....... සොයාන

දරුවනේ එක් වතාවක් අහගෙන ඉඳන් මේ .............. කතාව
කිව්ව දේවල් ඇහුව පසු සම කරනු හැකිනම් ............ සතාව
අද වගේ මතකයි නිතර ළඟ උන්නු පෙම්බර .............ලතාව
මට මගේ නැති වුණා දරුවනි ඇයත් එක්කම .............පුතාව

හෙටයි අපි දෙන්නගේ ලෝකෙට එන්නෙ පැතු ඒ ..... පුතාම
හැඩයි මං වගෙ තියන්නෝනය නමක් ලස්සන .......... ඔයාම
කියයි දොස්තර පාන්දර දෙන්නාව බලනට ............... ගියාම
පුතයි නෝනයි ගියා මේ දැන් ඔයා තනිකර ............... දමාම

හිටියනම් විසි හය වසක් යස ඉලන්දාරිය ................... පියාට
නුඹල වුව එහෙනම් මගේ ගෙදරටත් එයි හැම ............ හවාට
ඇසෙනවා බෙර ගසා තාලෙට කියන සිංදුව ............. මෙහාට
ඉවස ගනු බෑ මටත් නොදැනිම කඳුළු වැටෙනව ....... හොරාට

ඔන්න ඔය කාරනේ හින්දයි හුරු වුනේ ඔය ............... ජරාව
යන්න ගිය දා ඉඳන් තව නෑ හිතට දැනුණේ .............. නුරාව
උන්න නම් දන්නවා හුරතල් කරයි මම මුණු .............. පුරාව
ඉන්න බෑ මට නවත්තන්නේ මරන මොහොතෙයි ....... සුරාව

--- ශෂික මධුරංග කරුණාරත්න ---

ශෂික මධුරංග කරුණාරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත උපුටා පල කරමි. මෙයින් උපුටා ගැනීමක් සිදුකරන්නේ නම් නිර්මාණකරුගේ නම සටහන් කරන්නට කාරුණික වන්න.

නොකී කතා

කුඩා කල සිටම මව් සෙනෙහස අහිමි දියණියක තම විවාහයට පෙර පෙම්වතාට කියන කතාවකි.

--- නොකී කතා ---

බිඳක් අයියේ සමා වී මා කියන මේවා අසා ...................... ඉන්න
හෙටක් ගැන සිතුවිලි මැවෙද්දී බැරිය පපුවට දරා ..............ගන්න
ලොවක් අගයන උතුම් සෙනෙහස පුංචි කාලෙම ගියා ........යන්න
මවක් නැති මට බලා ඉන්නව ගමේ කවුරුත් සිනා .......... සෙන්න

මෙතෙක් ආ මග වින්ද දුක් ගිනි ඉවස ඉවසා නොමැරි ........උන්න
කොතෙක් අසරණ වුණා දැයි බෑ තවත් කෙනෙකුට හිතා.... ගන්න
මතක් කරලා කියමි නුඹහට හැබැයි මතුවත් මගේ ...........වෙන්න
කතක් උනු හැටි දන්නෙවත් නෑ කවුද හිටියේ කියා ..........දෙන්න

දිනක් එනවා වේදනාවක් කරන්නට බැරි තරම් ............... මෙල්ල
මදක් සහනය හිටියනම් මා ගන්නවානේ බෙහෙත් ............ ඉල්ල
ගලක් කරගෙන හිතේ තදකර නොකී දේවල් තියේ ...........ගිල්ල
ඇහැක් වාගේ බලා ගන්නට හැකිද අසරණ නුඹේ ...........කෙල්ල

හිසක් මත තම මවුට කියලා වේල් පට දා සරස ................ ගන්න
හුඟක් ආසයි අනිත් අය මෙන් දෙපා වැඳ සුබ ගමන් ......... යන්න
ගමක් මා දෙස බලා ඉද්දී සැමගෙ කටවල් වසා .................ලන්න
කුසක් රක්ෂා කරන හැටි අම්මාට කියලා කියා ................ දෙන්න

ගඟක් වාගේ දිවිය යද්දී වුනෝතින් අඩු පාඩු ......................සිද්ධ
මගක් නෑ වෙන යන්න දවසක කිව්වොතින් බෑ ගන්න...........වැද්ද
පවක් පෙර දී කරන්නට ඇති මෙහෙම ඉන්නට රිද්ද ............රිද්ද
මවක් වෙනවද ඔයාවත් මතු මාව දාලා යන්නෙ .................නැද්ද

--- ශෂික මධුරංග කරුණාරත්න ---

ශෂික මධුරංග කරුණාරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත මෙහි උපුටා දක්වමි. මෙයින් උපුටාගැනීමක් සිදුකරන්නේ නම් නිර්මාණ කරුගේ නම සඳහන් කරන්නට කාරුණික වන්න.

--- පියාගෙන් පුතාට ---

--- පියාගෙන් පුතාට ---
දකින්නට මේ වගේ දසුනක් සිහින ගැන්නා .................... කාලයක්
සිටින්නට හැකි වේව කියලත් පැතුව දාහක් .................... වාරයක්
වදන්නට බැරි වුනත් කුසයේ හොවා ගෙන දස ................ මාසයක්
වඳින්නට ගොස් අම්ම එක්කම වූව පුතුහට ..................... භාරයක්
මෙතෙක් කල් වග බලා ගත්තා නොගා ඉන්නට මඩ ............ බිඳක්
එතෙක් ආ මෙන් හෙටත් ඉඳපන් එහෙම නැත්නම් නෑ........ හොඳක්
කොතෙක් කීවත් කියන්නට බෑ සමාජේ කාටත් .................. ඇදක්
පුතෙක් හැදුවා හරිම සතුටකි බැලූ පසු හැරිලා ..................... මදක්
කාලෙකින් යළි ගෙදර එන තෙක් බලා ඉන්නට බෑ .............. මටත්
සීනෙකින් නුඹ ඇවිත් පෙනියන් පුතේ හැම හැම ............... රෑකටත්
මාසෙකින් පඩි ලැබෙනතුරු වියදමට කියලා ................. කෝකටත්
අම්මගෙන් ඉල්ලාන පලයන් බෝඩිමට සහ ..................... කෑමටත්
නුහුරු නුපුරුදු තැනක් හින්දා පරිස්සම ගැන .................... හිතාපන්
මිතුරු වෙස් ගෙන ඉන්න සතුරන් හඳුන ගන්නට ...............බලාපන්
ඉසුරු සොයමින් වීදි සරණා කතුන් හට දන් .................. නොදීපන්
ඇසුරු කරමින් ඉන්න දුව ගෙන් නිතර විස්තර .................. අසාපන්

දැනෙද්දී හෙට අඩුව මාගේ පිය සෙනේ ගැන .................. ලියාපන්
ලැබෙද්දී ඉඩකඩක් ඒ ටික පියුම්ගේ අත ........................ එවාපන්
අහද්දී මොනවාද ඕනේ මේක විතරක් ........................... කරාපන්
මියෙද්දී මම නොගෙව තිබුනොත් කඩේ ණය ටික .......... ගෙවාපන්
--- ශෂික මධුරංග කරුණාරත්න ---

ශෂික මධුරංග කරුණාරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි.. ඔහුගේ අවසරය මත උපුටා  පලකරන ලදී..