කවි කියවන්න ආව අය

Showing posts with label මංගලිකා පෙරේරා. Show all posts
Showing posts with label මංගලිකා පෙරේරා. Show all posts

Tuesday, May 10, 2016

වසන්තය නිමා විය

වසන්තය නිමා විය ,

සිරි පොදය පොලොව සිප ඉඩෝරය කළා ....... නිම
මද සුළඟ සිලි සිලිය අතු අතර දඟේ ...............කිම
තුරු මුදුන් සරසවා සුපිපි මල් වලින් ................ සැම
වසන්තය පැමිණුනා ජීවිතේ ..................සොඳුරුතම

තෙත පොලොව නැවුම් සුවඳින් හිඳී ........කුල්මත්ව
ඇහැරිලා ගහ කොළ ද බලා සිටි ............හෙම්බත් ව
පිපුණු මල් වෙත ඇදී බඹර කැල ............. මන්මත්ව
රොන් උරා බොනු දුටිමි ලං වෙවී ...........පෙම්වත්ව

කුරුළු පෙළ මල් වියන් යට සදා ....................ඕවිලී
හිමිදිරියෙ සිට ඇඳිරි වැටෙන තෙක් පෙම් .... කෙලී
මිහිරි ගී නද දෙමින් නොහැර රසයේ ............. ගැලී
අසනු රිසි කිචි බිචිය නගන උන් .............. සියුමැලී

දොළ දියට වැටෙන මල් යතී දිය පිට ...........ගලා
අසල ගල් කුලෙ හැපී පෙන බුබුළු .............නංවලා
පතුලෙ රතු නිල් කැට ද ගෙන තබා ........... හංගලා
ලලිත ගමනට ඇගේ මින් පැටවු පෙම් ...........කළා

රසය දුන් මුත් කෙමෙන් වසන්තය නිම .........වුනී
මල් ද කොල පල සැවොම අතු අගින් ......ගිලිහුනී
සුළඟ රළු වියලි බව සිත වෙහෙස ගෙන ........දුනී
යලි නොඑන වසන්තේ මෙයම දෝ නොම ....... දනී

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි

Monday, March 14, 2016

අයාලේ ගිය පුතුට...!!

අයාලේ  ගිය  පුතුට  ......

මට  අහිමි  වූ  සියලු  දේ  වලලමිය  හද  ....................ගැඹුරේ
නෙත  කඳුලකට  නිතර  දොර  හැර සිතැඟි   ළඟ ...... වැතිරේ
කිසි  දිනෙක  හිරු   නොපායනු  ඇත  අපට  එක ........ අඹරේ
නුඹගෙ  ලොව  කලඑළිය  වේ  නම්  සිටිමි  මම .......... අඳුරේ

උදම්  වූවත් නුඹේ  සෙනෙහෙන්  රැවටිලා  ඇත  ..............මම්
රිදුම්  දුන්නත්  දැවී  සියොළඟ  වයිර  ...........නොකරන් නෙම්
අසන්නට  වූ  සියලු  නින්දා  ගලක්  සේ ..................... උසුලම්
පහන්  සිතකින්  නැගෙන  හැම  දින  නුඹට  සුබ ...... පතනෙම්

සාප  කරනට  නොහැක  නුඹෙ  පන  අයිති  මට ......... බැවිනී
පාප  සිතුවිලි  මනස  අඩපන  කෙරුවදෝ  ................නොදනී 
සෝක  නුඹ  ගැන  වැරදි  පාරෙයි  යන්නෙ ඔය  ....නොපෙනී
ඊට  කිසිවක්  නොකළ  හැක  අසරණව  මම .............. තැවුනී

කැප  කරන්නට  තවත්  කිසිවක්  නොමැත  මා  ............සතුවී
ගත  ඇතත්  සිත  අඩපණව  ගොස්  සිටිමි  අද  ..............ලතවී
දුටුවෙ  නම්  ඔය  වෙස්  මුහුණ  තුල සිටින  රුව  ..........සැඟවී
මේ  තරම්  රැවටෙන්න  කැමතිද  ජීවිතය  ...................බොඳවී

බියකරුය  හෙට අපැහැදිලි  ලෙස  බොඳ  වෙලා ........ සිතුවම්
බුර  බුරා  නැගි ගිණි  ගොඩක  වෙද    සිසිලසක්  ....මොනයම්
වැරදුනා  නොව  වරදවා  ගත්  බවම  මට ............... හැඟුනෙම්
බිඳුණු  දා  රැකි  සියලු  දේ  බැහැ  සොයන්නට  ...........පිළියම්

මංගලිකා  පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි.
14 /03 /2016 .

Saturday, March 12, 2016

අසම්මත පෙම...!!

අසම්මත පෙම.....,

සිතක් පෙම ළඟ රහස් කොඳුරා නැගෙන්ටත් නොසිතූ.. ඇසිල්ලක
සඳක් විලසට නුඹ උපන්නා සුමුද ගලවා මල්............. .පියල්ලෙක
නොයෙක් අපවාදයන් ආවත් හදා වැඩුවේ ල'තෙත්......... තුරුලක
මටත් හෙණ ඉල්ලන්ට තිබුණා දැමී නම් නුඹ කාණු......... පල්ලක

පියෙක් නැති මුත් කුඩා මනසට නොපෙන්වා පාඩුවක් .........විලසට
වෙනත් පිහිටක් කැඳෙවුවේ නෑ මටත් නුඹටත් කියා ..........නිවසට
නොහැක් වෙයි අද දෙන්ට පිළිතුරු අසා වද දෙන නුඹේ ...පැනයට
දිනක් එන බව දනිමි එනමුදු මුහුණ දිය යුතු කරන............. සාපෙට

අසම්මත පෙම ලෙසට නම් කර ගැහැණියයි අපවාද ..........ලැබුවේ
කියන්නට මට නොහැක මේ බව ඔහුගෙ නම්බුව මමයි....... තැබුවේ
ගනින් පාඩම් නොදී මට වද නුඹත් තනිවෙයි මෙ'මල්...... ගොමුවේ
බිඟුන් සමනල් රෑන් අතරම දෙබර විස දළ ඹ'ටත් ............. හමුවේ

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි .
11/03/2016

Tuesday, March 8, 2016

මැරුණට පසු නිවන් පතන නිවනක් නැති අම්මලා........,


මැරුණට  පසු නිවන් පතන නිවනක් නැති අම්මලා........,

බිහි කල දා සිට දරුවන් මව් පදවිය..................... ලබන්නී
ඉන් පසු ඇගෙ  මුළු දිවියම උනුනට කැප .............කරන්නී
කන බොන යන එන හැම දෙය දෙවැනි තැනට ......තබන්නී
මව් පදවියෙ  කිරුල හිසට බර කර දුක..................විඳින්නී

හිරු නැග එන්ටත් කලියෙන් ගෙයි ලිප ගිණි ........අවුළුවයි
නියමිත නැති පැය ගණනක වැඩ මුරයට පන......... පොවයි
ජය ටැඹ  වෙත තම දරුවන් තරඟෙට ඇදගෙන .........දුවයි
හිමි සඳු සහ දරුපැටවුන් සතපා සිත................... සනසවයි

උස මහතින්  උන් වැඩෙනා  විට පුංචිම තැන ...........ලැබේ
සිරිකත වුව පෙර ගෙයි මුල්ලට තල්ලුව යයි.............. ඉබේ
බැරි වයසෙදි  අම්මට තැන ලැබෙනුයෙ  කවදද .........සබේ
ලේලිල  බෑනල  වටකර සමහර විට ගෙයි................ හබේ

මුණුබුරු  මිණිබිරියන්ගේ වැඩ කටයුතු............. පැවරෙතේ
ගේ දොර මුර හා අනෙකුත් වගකීමද වැඩි............... වෙතේ
ඇස ඇරි තැන සිට නිදියෙන තුරු සැනසුමකුත්........  නැතේ
අනුනට මිස තමනට නැත ඒ ජීවිතයෙහි ..................සෙතේ

වැඩ නොකොළොත් ගෙයි කවුරුත් මුවට එබෙයි..... බුම්මලා
වතු පිටි දේපල ගන්නට මාන බලයි...................... නම්මලා
කල හොඳ කොතෙකුත් තිබුණත් නොහොඳම නිති පෙන්නලා
මැරුණට පසු නිවන් පතන නිවනක්  නැති  ..............අම්මලා

මංගලිකා පෙරේරා...09/03/2016.

Monday, February 29, 2016

දෙවෙනි ගමන...

දෙවැනි ගමන .......

රතට රතේ අර දැක්කද හිරු අවරට............... ඇදෙනවාය
සුදට සුදේ වතුසුදු ගහ අන්න සේල ................උනනවාය
නෙතට ඉබේ මතක දිගේ තුටු කඳුලක් .........පෙරෙනවාය
සිතට මගේ නිවනක් නෑ නුඹ එන මග............. බලනවාය

රෑන ගිරවු පැණි අඹ කා සතුටු සිතිනි ඉගිල ..............ගියේ
මා වවුලන්ගේ වරමයි උන් තුරු වෙත ඇදෙති ..........රැයේ
නෑ බිං කරුවල තවමත් හෙන්දිරික්ක පිපෙන........ පැයේ
කෝ එන්නෙද ඉක්මන් කර කිමිදෙමු වෙල පහල.... දියේ

වෙල් මාලු ද බතට උයා වැහුවා දුම් මැස්සෙ............ තියා
අල්ලපු ගෙයි හොර පූසා පෙරලාගෙන කාවි............. කියා
පිල් කන්ඩිය උඩ තවමත් එලුවේ නැත පැදුර.............. දයා
සංකාවකි හිත ඇතුලේ ඇයි රන් කඳ පමා............. ඔයා

හේනේ රන් මල් පීදී ඉරිඟු කරල් මෝදු................... වෙවී
බෑනේ තනි කර එන්නත් රැකවරණය එයට ............නොවී
හීනේ මගෙ හිත තෙරපී මිහිරක් ගත තුලට.............. කැවී
පානේ එළියත් දැන් නම් රෑ කළුවට එලිය................ දෙවී

කඩුල්ලෙ සද්දෙට ටොමියා බිරුවේ එලියට.......... පැනලා
විදිල්ල වගෙ ඇහැ ඇරුනේ නෙත් ඒ පැත්තට.......... දුවලා
හැවිල්ල ඉවරයි හිමි සඳ වැඩියා හුල බිම.............. තියලා
කැදැල්ලෙ ඇත කුරුළු යුවල දැන් පහනෙ ද සිල.... නිවිලා

මංගලිකා පෙරේරා  2014/03/31 දින ලියන ලද නිර්මාණයකි.

යුවතියනි ඔබට සිතන්නට යමක්...

නිමිත්ත ......,
සල්ලාල පෙම්වතෙකුට හසුවී කැමරාව ඉදිරියේ ලිංගික ආලිංගනයේ යෙදුනු පෙම්වතියක් සිය දිවි නසා ගනී .අනිකුත් පෙම්වතියන්ගේ ඉරණම කුමක්ද ? පුවතක්

බිහිවෙන බිලිඳු නැළවෙන අද............ තොටිල්ලේ
තව දරුවෙකිය ලොකු වෙන එක ...........ඇසිල්ලේ
තම තම මතය ගෙන හැසිරෙන............. නිදැල්ලේ
ඇයටද ඔහුට ඇත නිදහස ...................විසිල්ලේ

අනන්‍යතාවයක් ඇත සැමටම ...................නිතින
රහස්‍ය භාවයක් ඇත හැම දෙන.................. රකින
තමන්ම පමණි දැන ගත යුතු එම............... කරුණ
ලබන්ට නොහැක එය කිසිවෙකුටත්........ හොරෙන

මිනිසා හැදෙන්නේ විලි බිය දෙක ................ඇතුව
එය රැක ගත යුතුයි විශ්වාසෙන්................... යුතුව
ආත්ම ගව්රවය රැක ගත්තොත්................... සතුව
මිනිසෙකු ලෙසට ලොව දකි'තැකි කැත........ නැතුව

හොඳ දෙය මෙන්ම නරක ද ලොව බොහොම... ඇතී
විවරව තිබේ දොරවල් දුටු වැරදි ....................පැතී
හිතවත් සුපෙම්වත් පිරිස ද එකට ....................එතී
අන්තර් ජාලයේ මග දිග සිනහ.................... සෙතී

වැසිලා තිබේ ලිංගික......................... කඩතුරාවද
නොසොයා බලා එබුනොත් එය ගනී............... ඇද
රැවටී එකින් එක ඇඟ සළු...................... උනාවිද
තවෙකෙක් එයින් ගති රහසින් රසේ ................විඳ

නොදැනම අලෙවි වී ඇත තම අඟ................. පසඟ
කැත හිත සමග තවෙකෙක් කර ගති............ වසඟ
හිතටත් හොරා සිදු වන්නට වෙයි ..................එකඟ
අවසන යෙදෙන්නේ උණු කඳුළුය .............නෙත 'ග

තම ජිවිතේ රැක ගත් අභිමන ......................අතැ'ර
පැවරිය යුතුද නොදුටුව කෙනෙකුට ...............යතුර
සල්ලාලයින් ඇත ලොව දස අත.................. පැතිර
කාගෙද වරද උන් හට දුන්නේ.................. දොරැ' ර

මංගලිකා පෙරෙරා  කිවිඳිය 28 /09/2013 දින ලියන ලද කවි පන්තියකි .

රිච්මන්ඩ් කාසල් කතාව

මෙය අළුත් කතාවක් නොවේ ..ඔබ බොහෝ දෙනෙක් අසා ඇති කතාවකි ....
කරුනාරත්න දිවුල්ගනේ ගායකයා තම 'ආදරය සුන්දර වරදකි ' ගීතයේ පසුබිමට යොදාගෙන ඇත්තේද මේ මැදුරයි .

රිච්මන්ඩ් කාසල් කතාව

ඉතා පොහොසත් මුදලි කෙනෙක් කළුතරත් ....විය
රටින් රට පිහොසතුන් හා මිතුරු කෙනෙක් .......විය
එංගලන්තයේ රජ මදුර හුරු තැනක් ................විය
රිච්මන්ඩ් නම රැගෙන මැදුරකුත් සදා...............විය

ඉන්දියාවේ මහා රාජ කුමරෙකු .....................සතූ
මන්දිරයෙආකෘතිය ලෙසට මෙය කල ............යුතූ
හැකියාව ඇත ඔහුට කරන්නට දේ .................සිතූ
මහ මදුර නිමාවිය ලෙසට එතුමන් .................පැතූ

සුවහසක් දැසි දසුන් පිරිවරා දුක .....................සිඳී
විජය මහ මන්දිරේ මගුලකට අර................... අඳී
මුදලිතුම පෙරහරින් රජ පිරිස හා ...................බැඳී
සුමුදු කුල කුමරියක් මනාලිය කොට................ බඳී

සුරූපී ඇය ඉතා ලාබාල .......................පෙනුමැතී
මහ මැදුරු ගෙට සිරිය සෝබාවගෙන .............දෙතී
කාරුණික ගුණ නිසා ලබා දැසි දස් .................තුතී
සිළුමිණක සේ පෙනී යෙහෙන් මෙහි........ වැජඹෙතී

රාජකාරියට යැයිකියා නිතරම.................... අනේ
මුදලිතුමා රටින් රට නැව් නැගී පිට............... වුනේ
දින මාස ගණන් ගැන කුමාරි මෙහි......... ලතවුණේ
කුමන සැප සම්පත ද නැතිව හිමි සඳු ..........සෙනේ

මතු සම්බන්ධයි ...

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි. නිර්මාණ අයිතිය මංගලිකා පෙරේරා කිවිඳිය සතුය..

Sunday, February 28, 2016

පුංචි දුවේ...

අපි ළමා කල ලැබූ බොහෝ දේ ,මවු පදවියත් සමග අපට අහිමි වී ගියා නේද ? ඔබ එය පිළිගන්නවාද?

කන්ද කපා හිරු එන හැටි
බටිති මලිති ඉගිලෙන හැටි
මල් පොඩි  පෙති විහිදන හැටි
පොතක ලියා තිබුණා
පුංචි දුවේ මට ඒ පොත
කියවන්නට සිතුනා

ඒ හිරු නැග එන ලස්සන
ඒ මල් පිබිදෙන ලස්සන
කුරුළු ජෝඩු වෙන ලස්සන
මට බලන්න හිතුනා
ඒත් දුවේ මට කුස්සියෙ
වැඩ පල ගොඩ ගැසුනා

හවසට හිරු බැස යන හැටි
රත්  පැහැ අහසට වෙන  හැටි
අඳුරට පෙර සඳ එන හැටි
එහිම ලියා තිබුණා
පුංචි දුවේ මට ඒ ගැන
කියවන්නට සිතුනා

හිරු බැස යන හැන්දෑවට
රත් පැහැ අහසට එනකොට
අඳුරට පෙර බත පිසින්න
මං ගෙපැලට ඇදුනා
පුංචි දුවේ  ඒ දසුනත්
මට නම් මග හැරුණා

දවස උදා වෙන අන්දම
අඳුර  ගලා එන අන්දම
චමත්කාරයක කැටිකොට
සටහන් කර තිබුණා
පුංචි දුවේ උඹ ඒ ලියු
පොත මගෙ  නෙත ගැටුනා

මාත් නොදැන මගේ හිතත්
ළමා වියට ඇදුනා

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි . ඇගේ අවසරය මත උපුටාගෙන් පලකරමි . නිර්මාණ අයිතිය මංගලිකා පෙරේරා කිවිඳිය සතුය.

Saturday, February 27, 2016

සොබා දහම හරි සොඳුරුයි ......,අම්මේ මට කියා දෙන්න ...., (2)

සොබා දහම හරි සොඳුරුයි ........අම්මේ මට කියා දෙන්න ....(2)

අන්න අතන මල් පඳුරේ දළඹුවො විත් කොළ.................. කනවා
ලොකු වෙනකොට කෝ උන් නැහැ ගස් වල කොපු..... එල්ලෙනවා
ටික දිනකින් රන් සමනල් රෑන් පිටින්............................ පියඹනවා
මට තේරෙන්නෑ අම්මේ උන් කොතනින් මෙහි................... එනවා

හිරු පායා පොලව පැලේ වැහි වැහැලා දෙගොඩ ...............තැලේ
මද සුළඟක සිසිල වෙලේ කුණාටු ලොව සසල.................... කලේ
පවසට බොමු දිය කොතලේ මහ සාගර දිය........................ අපුලේ
කියන්න මට මහ සයුරට කවුරුද ලුණු එකතු........................ කලේ

උදයට හිරු පායනවා හවසට එය බැස ................................යනවා
නව දිනකට එළි වෙනවා රැයකට කළුවර........................... එනවා
දහවල වැඩ කරනා අපි රෑ වෙනකොට ..........................නිදියෙනවා
කියා දෙන්න මේ නීතිය කවුරුද ඇත්තේ ..............................පනවා

බඩ ගිණි වී පොඩි දරුවන් කිරට හඬයි දිළිඳු .........................පැලේ
වත් පොහොසත් තැන් වල අය කිමිදෙනවා සතුටු.................... විලේ
අද දිළිඳා හෙට කිරුළේ රජ දිළිඳෙක් ලෙස ........................සසැලේ
සොබා දහම් මව අම්මේ මොන ලෙසකද මෙහෙම................ කලේ

මල් කැකුලක් පූදිනවා විකසිත වී............................... හිනැහෙනවා
ඒ මල් පරවී යනවා පල හට ගෙන ලොකු ..........................වෙනවා
රස පලතුරු අපි කනවා ඇට ගෙන විසි කර ..........................ලනවා
අන්න බලන්නකො අම්මේ ඒ ඇටයත් පැල ....................... වෙනවා

මව් කුසයෙන් උපදින දරු කිරි බි දැඩි වෙයි.......................... බාලේ
ශිල්ප සතර උගෙන මනා ලොකු වෙයි ගත වී ....................... කාලේ
ගහ කොළ වැල් ඇල දොල මල් රැක ගත්තොත් හැම .............වේලේ
මේ සුන්දර ලොව සැමදා පවතීවිද ඇති ...............................ලෝලේ

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි .
15 නොවැම්බර් 2015 .

සොබා දහම හරි සොඳුරුයි ......,අම්මේ මට කියා දෙන්න ...., (1)

සොබා දහම හරි සොඳුරුයි ......,අම්මේ මට කියා දෙන්න ...., (1)

උදයට හිරු පායනකොට මල් කැකුලියො......... හිනැහෙනවා
නෙක විසිතුරු පාට පාට ඒ මල් වල ................. තැවරෙනවා
සමනල බඹරුන් ඇවිදින් පැණි බී ඉගිලී..................... යනවා
මට තේරෙන් නෑ අම්මේ හවසට මල් පර................. වෙනවා

හිම කැටි මෙන් පුළුන් වලා පාවෙනවා අහස් .............. තලේ
මම යන තැන මා එක්කම ඇවිදිනවා පෙලින් .............පෙලේ
වැහි මේ කුළු කළු පාටයි විදුලිය එළි රනින්.................. දිලේ
මට තේරෙන්නෑ අම්මේ කවුද අහස වෙනස් ...............කලේ

කුරුළු පංති හිමිදිරියේ බෝ සතුටින්................... ඉගිලෙනවා
කිචි බිචි ගා සින්දු කියා රස කර පල වැල .................කනවා
හිරු අවරට ගිලුණු තැනේ කැදලි කරා................... පියඹනවා
මට තේරෙන් නෑ අම්මේ උන් රෑ කොහි.............. සැඟවෙනවා

වසු පැටවුන් උපන් ගමන් දුව පැන ඇවිදිනව ................ රැලේ
කුරුළු අම්ම කෑම ගෙනත් හොටින් හොටට කවයි........ කැලේ
වඳුරො පැටවු බඩ බැඳගෙන ගහෙන් ගහට පනින........ වෙලේ
තේරෙන් නෑ කවුද අම්මෙ උන්ට ඒව පුරුදු................... කලේ

මාළු පැටවු පීනනවා බටිති මලිති......................... ඉගිලෙනවා
නේක සතුන් ඇවිදිනවා තව උන් පැන පැන .................යනවා
කෝමද අම්මේ නොදැනේ මා වවුලන්................. එල්ලෙනවා
සෝබා දම හරි පුදුමයි එක එක දේ සිදු....................... වෙනවා

අඳුරු වලා පටල ඉරා සඳ දිදුලයි අහස්........................... තලේ
තරු පිරිවර නැහැ අම්මේ එදිනට ලොව එළිය................. කලේ
සඳ නැති දා තරු බබලයි මද අඳුරුයි පොලෝ .................තලේ
මම හෙවුවා කොහෙවත් නෑ හඳහාමිට මොකද ..............කලේ

දෙවන කොටස බලාපොරොත්තු වන්න.

මංගලිකා පෙරේරා කිවිඳියගේ නිර්මාණයකි. 14 නොවැම්බර් 2014 . ඇගේ අවසරය  මත උපුටා පලකරන ලදී .

සිතක තෙත සිඳුනදා ...!!

කළා වැවටත් නොදෙවෙනිව සිත පුරා බැන්දා මහ ..........වැවක්
සලා කඳුලැලි දුකට සතුටට රැඳෙව්වා තෙත ඇති .............බවක්
හෙලා සුසුමන් රැලි ද කලතා මුමුණ මුමුණා පෙම් ...........කවක්
බලා සිටියා එයින් අස්වැද එළිය දකිනා නව ..............ලොවක්

නෙලා අස්වනු එ'වැව් ඉවුරේ සැන්දෑ කල සුව සෙත ...........පතා
වලා වියනට යටින් සිටියා දිනුම ලද බව සිත ...................සිතා
පෙලා සියොළඟ නොසිතු මොහොතක යකුළු පහරක් වැද හොතා
පලා වැව් බැමි ඉරි තලා ගොස් කාන්දුවකට හසු.............. වෙතා

වෙලා හදවත රැකුණු පණ සේ සහසකුත් සෙත සැදු......... සිතින්
ගලා යනවා එ'දිය රන්කඳ  ප්‍රයෝජනයක් නැත........... ඉතින්
නොලා ඉවතට පිළිසකර කර ගන්ට නොහැකිව අද ..........බැතින්
කළා හැඩි දැඩි දෑත් යුගලක් තෙතමනය නැති............. හදවතින්

මංගලිකා පෙරේරා කිවිඳිය විසින් 2013 නොවැම්බර් මස 1 වන දින ලියා මුහුණුපොතේ රැඳවූ නිර්මාණයකි . ඇගේ අවසරය මත උපුටාගෙන පලකරමි .

සුදූ දුවේ...

සුදු දුවේ ..................

මෙයයි දොරටුව යෞවනේ
බලන් ඇස් ඇර දියණියේ
සොඳුරු දසුනින් නුඹෙ ලයේ
ගැස්ම වැඩි වෙයි හැම පැයේ

ඇතුළු වුව මැන සීරුවෙන්
බලා විනිවිද බෝ සොඳින්
සැනසුමට පමණක් නොවේ මෙහි
ඇතිය අතවර දෙන රිදුම්

දෙපස මල් ගොමු අත වනයි
තණ පලස දෙපතුල පිනයි
නැවත බලනුය හැරි වටපිට
එයද හරි මඟ නොම පෙනෙයි

බඹර ගුමු ගුමු නද දෙතී
සොඳුරු නෙක මල් වතු වෙතී
පෙම් කුරුල්ලෝ ගී ගයද්දී
නතර නොම වෙන් දුක සිතී

පාට දේදුනු පායලා
තුෂර වැසි එයි නෑවිලා
තෙමෙන්නට පෙර සිතන් මැණිකේ
සෙවනකට වී හිඳ බලා

ගිමන නිවනට තුරු වෙතේ
සරතැසට පිරි විල් ඇතේ
ඒත් මම නොකියාම කොහොමද
මිරිඟු දිය ඇස් රවටතේ

අසුන්දර හැම දෙය වසා
ගිණිකනව ඇස් රැවටෙතා
රසැ’ති පල විස තැවරෙතා
කොහොම ගන්නද එය සිතා

ගමන කෙලවර විඩා දෙයි
ලැබු දෙයක හිස් බව දැනෙයි
එහෙත් ආපසු හැරී එහි පල
නෙලා ගන්නට නොහැකි වෙයි

අම්මා .  මංගලිකා පෙරේරා කිවිඳිය වසර 2015 මැයි මස 6 වන දින ලියූ කවි පන්තියකි . ඇගේ අවසරය මත උපුටාගෙන පලකරන ලදී.

ඉන්නකං


එකට උපනත් එකම මව් කුස එකම ගතිගුණ............ නොපිහිටන්නේ
එකම හැලියේ එකට බත කා එකම විලසට නොම.............. රඳන්නේ
එකට කන බොන එකට නිදියෙන එකඟතාව ද පලුදු .............වන්නේ
එකම ඉර හඳ එකම මිහිකත එකම ලෙස නැත සෙත........... සදන්නේ

නෙතු පියන් පත් සැලෙන වාරෙට වැඩිය වේගෙන් සිත..... සැලෙන්නේ
කිතු ගොසත් ලැබු හොඳ නමත් සුළු මොහොතකදි කණපිට හැරෙන්නේ
පැතූ විමන් බිඳ වැටෙන වේගෙන් නවමු තැනකින් දොර .....ඇරෙන්නේ
නැගි සිතුම් යලි විපරිතව ඇයි මිනිස් කමකට නිගා ..............දෙන්නේ

මටම පමණක් අයිති ලෙසකට සොබා දහමද මැන.................. බලාවී
කටුක වදනින් දුදන ගතියෙන් කිපුණු විට උනු'නුන් ...............පෙලාවි
අවිදු අඳුරේ ගැලෙනු මිස දිවි මගට යහපත නොම ....................සදාවී
පවර දම වුව සිතට නතු කොට වෙනත් මගකට යොමු.............. කරාවී

මදු පුරා දුන් අතින් ගෙන දෙයි හලාහල විෂ බඳුන.................... පුරවා
සෙත පතා කියු සෙත් පිරිත් වුව ගනී අසුබ වු ලෙසට............... හරවා
බැත සැදූ අත නොවටිනා ලෙස කෝටු දඬු වෙයි නිසල ............කරවා
අවසනේ මට නොමැත අයිතිය මාද ගෙන යයි රුදුරු ...............මරුවා

මංගලිකා පෙරේරා කිවිඳිය විසින් වසර 2013 ඔක්තෝබර් මස 25 වන දින ලියූ කවි පන්තියකි. ඇයගේ අවසරය මත උපුටාගෙන පලකරමි.