කවි කියවන්න ආව අය

Showing posts with label නයනේත්‍රි කපුරුසිංහ. Show all posts
Showing posts with label නයනේත්‍රි කපුරුසිංහ. Show all posts

Monday, February 29, 2016

නව රුව..

~~ නව රුව ~~
අසුන් පෙළ පිරි කොනක හිඳගෙන බලා උන්නෙමි ඇති හැඩ
නේක දැති තුඩු කතුරු දැළි පිහි හරඹ කරමින් හරි වැඩ
සොඳුරු මුහුණැති කේශ කෙටි දිගු බෙලියතම එල්ලූ කඩ
සිහින් රාවෙකි නැගුණු සවනත කැපෙන කිරි කිරි හඬ මැඩ

පැහැය දේදුනු හිසෙහි තැන තැන බිත්ති සිතුවම් පරදවා
එතූ ඉටි කොළ ඉවත් කළ සඳ කැඩපතෙහි තොරණක් රුවා
කුඹුරෙ නියරද වත්තෙ තේ වැටි රටාවන්දෝ මව මවා
කතුරු දැළිපිහි ගමන් කරමින් කේශ කැබලිති වැපිරුවා

මඛාදෙව් රඳ නරකෙසක් දැක ගියා එදවස තපසට
දුකම දැක යති හිසැති කෙස් සිඳි පසන් සුව දෙයි දෙනෙතට
ජාති වෙන්කළ නේක පැහැ එන අවසනේ සුදු පැහැයට
මමත් ලෝ දම දැනම එනමුදු උවන ගමි නව රුවකට

නයනේත්‍රි කපුරුසිංහ කිවිඳියගේ නිර්මාණයකි . උපුටාගෙන පලකරන ලද්දකි .

මගෙ කවි අද මට!!

~~ මගෙ කවි  අද මට ~~

පෙරළුණු පරණ පොත් අතරෙහි කඩදාසී
ලියවුණු අකුරු කුරුමිනි අඬු මෙනි රාසී
තෝරාගන්න ඒ අතරින් නොම ලේසී
මොන කවි පෙළද ලැබ දෙන්නේ අද වාසී

උඩ සිට පහළටම කියවා කිහිප වරක්
බැලුවත් නැතේ මසිතට දැනෙනා රසයක්
මේ මා එදා ආසාවෙන් ලීව කවක්
අද පිබිදෙන්නෙ නැත හැඟුමක් වීද කුමක්

පද අමුනලා රස අදහස් ගෙන රඳවා
හද හිනැහුනා පිටුවක් පුරවා නිමවා
දින දින ඇබැසියම ප්රතිභා ගුණ වඩවා
දකිනා ලෝ පුළුල්වී පිටතට නෙරුවා

සැමදා දුටු සැවුල් කරමල සුදු වේලූ
අකුරක් නොදත් අත්තම්මා පවසාලූ
අ යනුද ආ යනුද එක්වී හැඩවේලූ
මගෙ කවි මටම අද රසයක් නම් නෑලූ

නයනේත්‍රි කපුරුසිංහ කිවිඳියගේ නිර්මාණයකි.

Sunday, February 28, 2016

තෙතක් නැති හද කුමට ..?

කිට්ටු වී නෙතු විමසනා කල ශීතකරණය තුළ යමක්
තට්ටු කිහිපය හිස්ව හිනැහේ පවසනාසේ කෝ රසක්
තුට්ටු දෙක තුන රැගෙන සපැමිණි සුපිරි සැළකදී දුටු දෙයක්
රට්ටු පිරිලා තරගයක වැද පේළි සැදිලා යන සෙයක්

කෙසෙල් ගස්ලබු තරව වැඩිලා බැරිය ඔසවනු තනි අතින්
ඇපල් දිලිසෙන බලනු ලස්සන හපන්නට හිත නැහැ දතින්
සිසිල් කළ කිරි කලක් තැබුමට රසායන නොම දුටු නෙතින්
ඇසිල්ලෙන් වත රැඳුනු දඟ යුඟ පිරි කිකිළි හිස සිඳි ගතින්

ගහකි එකමෙක මිරිස් කරලත් වම්බටුත් අතු අග එන
දිනකි එලඹෙන නසා තුරු වැල් වැසූ හල් තුළ ඵල දෙන
ලොවකි නැසෙනා රුදුරු රෝ බිය පැතිර බෙහෙතක් නැතිවෙන
දනකි නොහැඳින සොබා දම් ගුණ මහිම අහිමිව වැලපෙන

හැඳිවතක් ඉනු කලෙක සිටවිත් යළිත් එදෙසට යන ලොවක්
දියුණුවක් වෙත විදු දැනුම ගෙන ගියත් දිනුමක කෝ වගක්
සවි ගතක් දී සතුන් ඵල මෙන් වෙනස් කෙරුවත් ගෙන සිතක්
හදවතක් නැති මොලේ කුමකට මිනිස් හැඟුමට නැති තෙතක්

නයනේත්‍රි කපුරුසිංහ කිවිඳියගේ නිර්මාණයකි. ඇගේ අවසරය මත උපුටාගෙන පලකරන ලදී.. නිර්මාණ අයිතිය නයනේත්‍රි කපුරුසිංහ කිවිඳිය සතුය.