කවි කියවන්න ආව අය

Showing posts with label සමීර චතුරංග. Show all posts
Showing posts with label සමීර චතුරංග. Show all posts

Saturday, March 12, 2016

මැහෙන ජීවිත ...!!

Sameera Chathuranga
9 March 2016

---------------- මැහෙන ජීවිත..! ----------------
..
ගමරට අතැර ඇවිදින් රුදු නගර..........වෙත
රිදුමන් පමණි තිබුණේ නම් හතර...........අත
දවසම ගෙවී ගියමුත් රළු මැසිම.............මත
සතුටක් නොමැත ලැබුවේ ඒ සුමුදු..........හිත
..
බැණුම් විතරමයි කවදත් නොමැත.......හොඳ
සුසුම් රස්නෙමයි පපුවෙන් නැගෙයි.........තද
ලොවක් හැඩ කලත් දෙඅතින් මවන........ලද
ලොවෙන් හැමවිටම ඇහුවෙම ඇණුම්......පද
..
ඉල්ලා ඉලක්කය නිරතුරු සෑම...........පැයේ
හොල්ලා දෙසවනම සද්දෙනි ගලා.......ගියේ
දැක්කා වුනත් අපෙ දුක්කඳ දැවෙන......කයේ
වික්කේ මිනිස්කම යටකර කාසි............රියේ
..
බැලුවෙම වැරදි විදිහටමයි නෙත්.........විදහා
පෙනුනේ පහත් අය ලෙසටයි ලොව...උකහා
සලෙළුන් ඇවිත් මඟ අහුරා දෙයි.........විරහා
දෙවියන් පවා ළඟ නෑ හිටියට..............අදහා
..
හැමදා ඇවිත් දුක් වින්දත් ගතින්.............දැවී
සොච්චම් පමණි අත රැඳුණේ මාසෙ.......ගෙවී
පෙර පින් මදි වෙලා එනමුත් ලොවට......මැවී
කවදද ලැබෙන්නේ දිවියේ සැපයෙ..........සවී
..
සමීර චතුරංග කිවිඳුන්ගේ නිර්මාණයකි.
2016.03.09

Wednesday, March 9, 2016

කවියෙකුගේ බිරිඳකගේ කවියක්...!!

------ කවියෙකුගේ බිරිඳකගේ කවියක්..! -------
..
සඳවත ලෙසට කළ උපමා මගේ..............වැනුම්
එදවස තදින් හද මඩලේ කළා.................නැටුම්
රිසිවන පදින් ලියනා විට නොයෙක්..........දැකුම්
ඔබ ළඟ මෙමන් හිටි හැටි අද වගෙයි........හැඟුම්
..
නෙක රූ රටා මැව් හැටි ඔබ සිත්.............අහසේ
තවමත් හිතේ මහ මෙරකට ඇත.............රහසේ
යුගයක් ගෙවා අහවර විය දිවි..................පියසේ
කවියක් වගේ කිව් ආලය නැත................නිවසේ
..
දොරඟුලු වසා ගෙන තනිවී ගෙයි.............මුල්ලේ
ඔබ තව කවි ලියයි තොල් ගැන නා...........දල්ලේ
තනියම මෙමන් ලිප සමඟයි අළු..............පල්ලේ
තනිකම දැනෙයි මහ මෙරකට එක...........එල්ලේ
..
වෙහෙසුන නමුත් රැකගන්නට සෙනේ...........පිඬූ
නොගනිමි කිසිම විට මුවඟට මුවත්...............කඩූ
කිමදැයි මෙහෙම දිවි කවිකම් වුනේ...............අඩූ
ලස්සන වදන් කෝ නුඹ මට එදා..................දෙඩූ
..
කවියෙක් කියා නුඹ දීපෙට ජනිත..................වුන
වණමින් පුවත්පත් සඟරා නොයෙක්..............තැන
දහසින් බැඳි පියලි නැතිමුත් ගෙදර.................එන
සතුටකි හිතට අඟ හිඟකම් ඇතත්..................ධන
..
අතපසු වුනත් මට යුතුකම් ලැබිය...................යුතූ
නොකරමි කිසිම දොස් තැබුමක් විලස.............රතූ
රිදෙනව හිතම හරි දුකකින් සතුට .................පැතූ
එනමුත් පුදමි මගෙ හදවත හෙටත්.................මතූ..!
..
සමීර චතුරංග කිවිඳුන්ගේ නිර්මාණයකි
2016.02.22