කවි කියවන්න ආව අය

Showing posts with label සමීර සෝමරත්න (මගේ නොවන මගේ ආදරේ). Show all posts
Showing posts with label සමීර සෝමරත්න (මගේ නොවන මගේ ආදරේ). Show all posts

Saturday, February 27, 2016

සුදු මැණිකේ ...

==============සුදු මැණිකේ ====================

දෙදහස් දහ හතරේ අද හත්වෙනි මස අට...............වෙනිදා
තෙරුවන් සරණයි ! ලියමන ලියන්නෙ මුළු රැය......නොනිදා
මගෙ ආදර සුදු මැණිකේ මගෙන් මිදී ගම................හැරදා
තුන් මසකට වැඩියි නේද වෙනකොට මේ එන...........ඉරිදා

පිළිවෙලකට ගොනු කරගනු බැරි සිතිවිළි හිත...........අඩංගු
එකලස් කර ගන්නට මම කාලය කෙරුවෙමි............මිඩංගු
කුඹුර කෙරුව මහන්සියට හුරු අත වැටිලා...............විලංගු
ඒ හින්දයි ලියමනකින් අමතන්නට වුනෙ................සුනංගු

වැව පාරෙහි ඉස්මත්තෙදි බස් එක දැක ඔබ.............එක්ක
මා අතහැර ගොඩවුණු දා මතකයි හීනය..................දැක්ක
තනිකඩ මගෙ ගෙපැල මැදක පැදුර එලා ගෙන.......දොක්ක
තවමත් ඒ සොඳුරු පැතුම් සසලයි තනියම................රැක්ක

නිවාඩුවට ඔයා එද්දී වැඩක හිටියෙ පහල................වෙලේ
පණිවිඩයක් ගෙනා මුවඟ සරදමකුත් තිබුණි...........තොලේ
මා දුටු විට හරවාගෙන කවුරුත් නැති දෙමන්.............සලේ
කලිසම් ඇඳි එයා කව්ද ගෙනත් ඇරපු බයිසි..............කලේ

ඔරවාගෙන මගේ දිහා මහන්සියට බැලුව..............සැරෙන්
ගලවගත්තෙ අමාරුවෙන් තිබුණු මල්ල ඔබගෙ.......කරෙන්
ඇඳන් ගියපු මල් ගවුමට නිමා තියල ඇඟට............හිරෙන්
කොටට ඇඳපු අමුතු ඇඳුම දිහා මමත් බැලීමි ......හොරෙන්

රැළි බේරුණු ,මල් අමුනපු ,කොන්ඩ කරළ තිබුණු.....පිටේ
තිබුනේ නැත එය දුටුවේ පසුකර යන හැටට............හැටේ
රතු වුනු කට විහිදා හුරු සිනහව මැව් කලදි.............තුටේ
අමනාපෙන් බැලුවේ ඇයි අමතක විද බුලත්.............විටේ

වවා රැවුල කොන්ඩෙ බැඳන් බැනියම සහ සරම්....පොඩිය
ඇඳන් සසර පුරුද්දටම ඔබේ ලඟින් තැබිමි..............අඩිය
යන දවසෙත් යලිත් වැඩට බහක් නොදුන් නමුත්.....වැඩිය
බැඳි සෙනෙහස හද මඩලේ දැන් පෙරටත් වඩා.......දැඩිය

ගැවසුව දිනයක මුදු මල් රැළි ඇඹරුණු ඔය......කොන්ඩේ
සුවඳ දැනුනි තුරුළු සුවෙන් මාරු වෙද්දි ඒ............දන්ඩේ
නවතින්නම් මගෙ මැණිකට දෙවි පිහිටයි දැඩි......මුණ්ඩේ
කවදාවත් වෙනසක් නැති මං ආදර සුදු................බංඩේ

සමීර සෝමරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි. ඔහුගේ අවසරය මත උපුටාගෙන පලකරන ලද්දකි

(මගේ නොවන මගේ ආදරේ )

අන්තර්ජාල සංදේශය ..!!

******අන්තර්ජාල සංදේශය******
කව, ඔබ පමණි හැඳිනුයෙ සිත ඇදෙන----------මග
දෙව මෙම පණිවිඩය හනිකට ගුවන--------------නැග
නිවැ රදි තැනදි හඳුනන් ඒ නයන-----------------යුග
පව සන් ඇයට,මා අද ඇය සොයන--------------වග

සුළකුරු සොයා පද බැඳ ඔබ නමින්------------ගෙන
සඳ තරු මැදක ගැයු විට කවි, බැඳන්---------වෙණ
සුමිතුරු වුවත් මට කොපමණ ළඳුන්--------------වෙන
දිනිසුරු ඔබම වෙයි හිත් ගැබ මුදුන්---------------වන

ගිම නට සුව නොගෙන ඉඟ සුඟ සලිත-----------මලින්
පෙම රැක ගනිමි කිව හැකි ලෙස අරුත--------කෙලින්
නිම නැති ගමන් නොගිහින් ඉන් මනත------------,කළින්
මම හෙට දකින්නෙමි. අද ඔබෙ දෙනෙත---------තුළින්

පැමිණන දිනක ගෙපැළට පිටිසරක-----------------ගැමී
නොමියන පැතුම් දළුලයි සිසිලසක-----------------තෙමී
හිමි වුනු නමුදු අවසිහියෙන් නොදැක----------------නිමී
සැමියෙකු වෙන්න පළමුව ළදරුවෙකු----------වෙමී

සමීර සෝමරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි
(මගේ නොවන මගේ ආදරේ)

අලුත් නෑයා...!!!

********අලුත් නෑයා**********

සිර කර හැඟුම්, ගනු බැරි කඳුළට-------------වාවා
දුර ගිය සමනළිය හිත පෙමකට---------------පාවා
පෙර හුරු මග දිගේ නෙතු අඳුරට--------------ගාවා
සුරතලෙකුත් සමග අද ගෙදරට----------------ආවා

යව්වන කුසුම පරවෙනු දුටු කැකුළ--------------හැදී
දිව්රුම් දිදී යළි පෙර හිමි කිරුළ------------------යදී
මව් සෙනෙහසට ආවත් තන බුරුළ--------------ඇදී
සිව් මස් සිඟිති පුතුටත් ඒ තුරුළ------------------මදී

දොස් අමතකව යන ලෙස අප තැවුල්----------වනේ
ලස්සන තැනිනි උන් හිත් වෙත ඇතුල්---------වුනේ
ඉස්සර බුදුන් දුර එනු දැක විසල්--------------ලෙනේ
පස්වග මහණුවත් හිටියද--------------නිසොල්මනේ

සිසි වත ළපටි ගත සුසුවඳ, සොව------------තැව්වා
විසි කර දෙඅත් මං හරි දඟ බව----------------කිව්වා
නිසි අවසරය නොලැබම මේ මුව-----------පොව්වා
විසි වසරකට පසු ගෙයි, සුරලොව-----------මැව්වා

කිති වුවමනා නැති මුත් කිරි---------------හිනාවට
දැති නම් නැතිය මේ සුහුඹුල්--------------පනාවට
ගැති වී සොයුරු මව් පිය හැම දෙනා------------වට
ඇතිරිලි එළයි මට පා, පුතු ගෙනා------------ගෙට

ගෙට ගෙන මගෙ ඇඳෙයි ලූ විට යොමා-------වත
කට උල් කරනු දුටු පසු ඇඳ තෙමා-----------ඇත
කටයුතු නොවැටහෙන මුත් මේ ළමා---------හිත
මට සළකා එහැර කිසිවක් දමා---------------නැත

සමීර සෝමරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි

(මගේ නොවන මගේ ආදරේ)

කළු ගං කොමලිය..!!

.........කළු ගං කොමලිය......
සම නළ ගිරෙන් පහළට දිව එන------------------දැරිවී
සැම ඇළ දොළක සෙනෙහස් දිය ගෙන-----------පිරවී
නිම කළ තුරුණු ළඳකව දන මන------------------බරවී
ගම කලඑළිය කර ඇගෙ අභිමන-----------------පෙරවී

ලිය ගුණ අරන් සිසිලස ලද අවට---------------------දන
ණය වෙන නමුදු බොර දා යති ඇයට--------------බැණ
කය සනසවන විට මුහු වන කිළිට-------------------දැන
ඇය සැනසුනේ දී නිතරම පවට----------------------පින

දිය යට අනගි මිණි ඇත බිම-------------------පෝෂිතය
එය වට වැලිය ගොඩ දැමුවෙම-------------------ජීවිතය
පැය කට වුවද ඇගෙ ඇසුරම---------------------මීවිතය
ඇය හෙට නොමැති විලසිනි සැම---------------භාවිතය

සං කර ගතිය හුරු කල නුසු-----------------------දුස්සාව
ගං තෙර, පතුල විළි බිය නැසු---------------------රස්සාව
දැන් පෙර පවකි. හැඟුමකි මුසු-------------------ජුබ්සාව
යන් තර මිණි සොයන් නුසුදුසු--------------------ගබ්සාව

සළු ඇඟ මුදන විලසට ඇද බිඳ---------------------ඉවුරූ
මුළු නගරයම නිහඬය අත් බැඳ-------------------දෙවුරූ
සුළු වග නොවෙද ඇගෙ පෙම පණ පුද------------දිවුරූ
කළු ගඟ අඟන වැළපෙනු දුටුවද-------------------කවුරූ

දිය වත කොමල වුව සත වෙත පුරණ--------------බැතී
පැය හත අටෙන් වැහි ගතු ලඟ උරණ---------------ගතී
සිය ගත වැළට දී ගඟ වෙත නැමුණ-----------------එතී
ඇය වෙත ළබැඳි මගෙ රුව මං හඳුන---------------ගතී

සමීර සෝමරත්න කිවිඳුන්ගේ නිර්මාණයකි .
*මගේ නොවන මගේ ආදරේ*