කවි කියවන්න ආව අය

Showing posts with label පියුමි රුවන්තිකා. Show all posts
Showing posts with label පියුමි රුවන්තිකා. Show all posts

Thursday, March 10, 2016

ගසක මහිම...

Piumi Ruwanthika
27 November 2012
..
ගසක මහිම

සූටික්කෝ මොකද හොරෝ ඔච්චර කලබල
මල් පොකුරෙම රස එක පොදියට උරනා කල
පැණි පිරිච්ච රත්මල් මුව රතු වන සැටි බල
උඹට ඉතින් සතුටුයි බඩ පිරෙනව නොවැ බොල

රවටාලා මල් අතු අග ඉඳ ගීයක් ගයා
ඇහැරුණු මල් සිප හනිකට පැණි ටික ගෙන ගියා
පෙර දින ඔබ රොන් ගත් මල් මිලිනව ඇති නියා
දැක දැක ඔබ ඉගිලුනෙ බැල්මක්වත් නොම තියා

හැමදාමත් මල් පූදන ගස ඇයි නිසසල
මෙය දහමක්දැයි හැගුනාදෝ අප ලොව තුළ
මලට හදිය කළ සූටික්කාටත් පා ලොල
ඔහුට කැදලි තනනට දෙනවා අතු ඉති කොළ

පියුමි රුවන්තිකා කිවිඳියගේ නිර්මාණයකි .

Wednesday, March 9, 2016

සොඳුරු පියස..!!


..
***සොඳුරුම පියස - විය යුතුය නිවස***

නිවසක තිබෙන සැප සම්පත් අතර හොඳ
හැමදෙන අතර සෙනෙහස ගත නොයුතු බිඳ
මව්පිය සමග දරු දැරියෝ එකට හිඳ
තැනි යුතු නොවෙද සමගිය තනි රොදට බැඳ

තිබුණත් මව්පියන්ගේ වුව අඩුපාඩූ
දරුවෙනි එපා ගන්නට කිසි දින වාඩු
නොකරන් කිසිම දින කාටත් කුඩු කේඩූ
ඔබ වෙත ලැබේ ඵල එහි, වී මිණි තෝඩූ

සොයුරන් සොයුරියන් සමගී නම් බැම්මෙන්
නිවසක් සදා එළියයි දියුණෙහි නැම්මෙන්
යස ඉසුරට එපා දබරය දැඩි ඇල්මෙන්
දිනකදි පලා යයි සිරිදුව ඔබෙ බැල්මෙන්

මුදලුත් දේපළත් උරුමෙන් ලැබෙන දෙයක්
සිතනට එපා කිසිවිට එහි නොමැත සුවක්
සැක හැර කියමි ඔබ නොසිතුව එකම දෙයක්
එය මහ සොයුරු දම බිඳලන අමුතු ඇමක්

ඇති හැකි දෙයින් ඔබ උපයන සතය තරං
නොවටී ඉබේ ලැබෙනා දේපළද, තොරං
කරලා ඉතිරි, කා බී ඇඳ පැළඳ අරං
පෙන්වනු උතුම් ගති නොකියා හතර වරං

අරගෙන ගියොත් දබරය දේපළ ගැනම
ඉන්නට වෙන්නෙ අධිකරණයෙ පරපුරම
අත්වැල සෙනෙහෙ මිදුනොත් මොකටද උරුම
සිතමුද මදක් නැවතී මිතුරනි ඔහොම

හැමදෙන එකට කන බොන සැතපෙන නිවස
සදමුද සුවෙන් සතුටින් ඉතිරෙන විලස
දීගෙක ගියද වෙන් වී දුර මතු දවස
ඉනු ඇත සදා 'ගෙය' ඔබ වෙනුවෙන් නොලස

පියුමි රුවන්තිකා කිවිඳියගේ නිර්මාණයකි .