කවි කියවන්න ආව අය

Thursday, November 15, 2018

ගඳ සුවඳ 12

ගඳ සුවඳ "(දොළොස් වෙළුම )

නිල්මිණි දරුව වැජඹෙති මල් ගොඩක මුදු
සේකර ගෙවයි ජීවිතයක් කටුක රුදු
යන්තම් කවයි බත් දෙකටක් අතින් හැදු
අම්මෙකුගෙනම් සෙනෙහස අඩු නොවේ වැදු

සති අන්තයේ එක්කෝ චිත්තර පටියක්
නැතිනම් කොහේ හෝ ප්‍රියසම්භාෂණයක්
නිල්මිණි ගෙවද්දී සුන්දර ජීවිතයක්
සේකර රෑට බොයි තනියම තුන්කාලක්

වත්තේ  හොඳ එකා බේබද්දෙකුත්  වෙලා
ඉවසා ඉනු  බැරුව  සේකර  දුකින් බලා
දෙනෙතේ ගැලූ උණු කඳුළැලි ඉවර වෙලා
පපුවේ අමාරුව හැදිලා මවත් මළා

කිසිවෙකු නොමැති ලොව සේකර තනිවීය
මත්පැන් වලට තව තව සිත ලොල් වීය
සිරුරද කෙසඟ විය පැහැයද අඩුවීය
ඔහු ඇත්තටම ඇවිදින මිණියක් වීය

මිතුරෙකු සේකරගෙ දැකලා මේදෙන්නා
ලිපිනෙද ලියාගෙන විත් අතටම දුන්නා
දින කීපයක් නෑ සැරුවත් සොයමින්නා
යළි එන අදහසින් ඔහු ආපසු එන්නා

ඉරිදා දිනෙක නිල්මිණි හා පුතු රැගෙන
අර්ජුන ගියා කෑමට වෙනසක් ලෙසින
ඔහුගේ පියා යාපනයේ සිට එදින
කටයුත්ත්කට සිටියා කොළඹට පැමිණ

ආ කටයුත්ත නිමවාගෙන සවස් කලේ
ඔහු ආහාර ගත්තෙත් එම අවන්හලේ
පුතු අත දමා දරුවෙකු ඇති ළඳක ගෙලේ
යනු දුටු හදිසි දසුණයි හිත සසල කළේ

විපරම් කර පියා ආපසු යන්න ගියා
පසුදින ආය පණිවිඩයක් පුතුව සොයා
මෙය ලද වහා එනු අර්ජුන ගෙදර කියා
එහි තිබුණාය අණදෙන අයුරකින් ලියා
...................................................ශාරා
මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

ගඳ සුවඳ 11

ගඳ සුවඳ "(එකොළොස් වෙළුම )

පවුළක් ගොඩනගා දරුවෙක් හදාගෙන
දහසක් පැතුම් පොදි හිතමත දරාගෙන
සේකර සියළු දේ නැතිවුණ පරාජෙන
වත්තට ආය යළි හිස බිම ඔබාගෙන

අම්මා සමග පැල්පත පමණයි ඉතුරු
දයිවය මිනිසුනට ඇයි මෙතරම් නපුරු
පනමෙන් ආලෙකළ ඇඹණිය විය සතුරු
දියවිය දිවිය දිය හැංගූ සේ හකුරු

මත්පැන් ජීවිතේටම නැති කටේ තබා
එකවිට බාගයක් බොයි දැන් මුවේ ඔබා
කෝ කිය කියා මගෙ පන රත්තරන් බබා
සේකර ඇවිද යයි මහමඟ ගාතෙ ඉබා

අත රැඳි පොඩි දරුවො විටකදි උදුර ගනියි
අතොරක් නැතිව තුරුළට ගෙන මුහුණ සිඹියි
සමහර නොදත් මිනිසුන්ගෙන් ගුටිද ලැබෙයි
දරු සෙනෙහස මිසෙක මිනිහට පිස්සු නෙමෙයි

අර්ජුන නිල්මිණිව හා දරුවද රැගෙන
කැළණියෙ සිටින ගජ මිතුරෙකු මුණගැසින
තොරතුරු අසා සරිලන විසඳුම ලෙසින
ඔහුටම අයිති නිවසක් නැවතුමට දින

වටවූ තාප්පෙකි වත්තේ මල් පීදෙයි
දෙමහල් නිවෙස දහ දෙනෙකුට වුව සෑහෙයි
අර්ජුන නිතර ඇයගේ තුරුළෙම ගෑවෙයි
විඳවූ ජීවිතය දැන් විඳිනව වාගෙයි

සුපිරි අවන්හල් සාප්පු සවාරිද
ඉහළ සැලුන් වල රුව හැඩ කිරීමද
නිසා ඇය දුටොත් සිහිවෙයි ඉබේමද
මේ මැරිච්ච අර ඩයනා කුමාරිද
...........................................ශාරා

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.                                                                                                                                                                                                                                                                                  

ගඳ සුවඳ 10

ගඳ සුවඳ " (දසවන වෙළුම )

පුතුගේ සිනාහඬ මැද සාලෙන් නෑඟෙයි
"නිල්මිණි" කීය "මම මෙහෙ" වදනත් නෑසෙයි
විසිරුණු බඩු පවා තම දෙපයට පෑගෙයි
අදනම් පාළු ගෙය අම්බලමක්  වාගෙයි

දිවගෙන ගියා පුතු නිදනා තොටිල්ලට
හොරු ගෙන ගිහින් ඒකත් මේ ඇසිල්ලට
අඬපන් පුතේ මට පොඩ්ඩක් ඇසෙන්නට
මුරකරු දිව ආය මුගෙ කෑගැසිල්ලට

ඇරලා බැලී අල්මාරිය රෙදි දාන
හිස් බව මැවූවා එහි බියකරු හීන
අර්ජුන සමග නිල්මිණි හොරැහින් පාන
නැටුමට  තියා තිබුණා තිත අවසාන

අර්ජුන සර් ඊයේ ගේ අස්කෙරුවා
නිල්මිණි නෝනා ඔහු හා අද පිටවූවා
මෙහි සිදුවුණා මුළදිත් එකඑක ඒවා
කැඩෙතැයි පවුල මම කීවේ නෑ ඕවා

මුරකරු කීය සේකර අස්වසා හල
පිළිඹිබු වුනා දුක ඔහුගේ හැඬුම තුළ
මොනවද මුමුණ මුමුණා එය නැවත ගිල
ඔහු නැවතුණේ ගෙදරයි බණ්ඩාරවෙල

"තනිවම පුතේ ඇයි කෝ දුව හා දරුවා"
මාපිය දෙපළ සේකර පිළිගෙන ඇසුවා
"ඇය මෙහි ආවෙ නැතිදැ"යි ඔහු පිලිවිසුවා
සිදුවුණු සියළු දේ ගැන මාමට කිව්වා

බෑණගෙ දෙඬුම මාමණ්ඩිව සසල කළා
ඔහු ගුණගරුක බව ඉහළින් අගය කළා
නිල්මිණි එවලේම පවුලෙන් අයින් කළා
සේකර සනසවා ආපසු පිටත් කළා
................................................ශාරා
මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

ගඳ සුවඳ 9

ගඳ සුවඳ "(නවවන වෙළුම )

ගත සිත ප්‍රබෝධයි ඉඳුරන් ගත්ත නිවා
යළි හමුවීම ගැන සිතුවා උදේ හවා
අවයව පවා ඇස ගැටෙනා විලස හොවා
නිල්මිණි වෙනස් කෙරුවා ඇගෙ ඇඳුම පවා

දවසෙම පසුවේය ඈ දැන් සතුටු සිතින්
ප්‍රීතිය කඩා හැළුණා නෙතු සඟල මතින්
සේකර පවා පැතුවේ මේ වෙනස ඉතින්
කවදා හෝ දකින්නයි තම පියඹ වෙතින්

කීවේ එදා සිට වත්තේ කිළිටි කමයි
ඈ සතුටින් සිටින්නේ මේ නිවස නිසයි
සේකර වෙලාවෙක තනිවම මෙහෙම සිතයි
රැකියාවත් වෙනස් වූවොත් තවත් හොඳයි

සේකර නැගී යද්දී කුණු ලොරිය දිගේ
දෙදෙනා මොහොතකට පීනයි ප්‍රේම ගඟේ
කවදා ලැබේවිද දිනයක් එදා වගේ
සිපගැන්මකට බෑ නිවුමට ගින්න ඇඟේ

ඉඳහිට තදින් තොල් පෙති සිපගත් දාක
හදවත තුළ නැගෙයි සිතුවිලි නෙක නේක
ඉවසා ඉන්න බැහැ තව දුරටත් මේක
ගිවිසා ගතිය අවසන ඉමු එක ගේක

දකිනා මොහොත නොසිතා ආලය කෙරුව
ලැබෙනා තත්පරේ  උපරිම රස ඉරුව
කැස්සයි ආදරෙයි සගවන්නට බැරුව
අමතක වීය මුන් හට මෙහි  මුරකරුව

වැටුපද රැගෙන නව රැකියාවකුත් සොයා
කුණු ලොරියෙන්ද අස්වී ලියුමකුත් ලියා
නිල්මිණි සනසවන්නට මේ පුවත  කියා
සේකර එදා වේලාසන ගෙදර ගියා
.............................................ශාරා

මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

ගඳ සුවඳ 8

ගඳ සුවඳ  "(අටවන  වෙළුම  )

අර්ජුනගේ උදවු ඉන්පසු නොඅඩුවම
ලැබුනා සේකරගෙ පවුලට හැමවිටම
අහරක් උවද පිසනා විට නිසැකවම
ඔහුගේ කොටස  පිරිනැමුණා ගෙදරටම

උදයෙම හුවමාරුවෙයි සුබ උදෑසනක්
ඉඳහිට වඩාගත්තා දරුවාද බිඳක්
දිනකට වරක් සිදුවේ දැන් මෙහෙම දෙයක්
ඇසටැස ගැටෙන්නට පඩිපෙළ හොඳම තැනක්

වැඩියෙන් සේකරට ඔහු ජවසම්පන්නයි
අඳිනා ඇඳුම් වුව හදවත කුළුගන්වයි
අවිහිංසකයි නිල්මිණි හරි පෙම්වන්තයි
දෙදෙනම සිතුවෙ මේ අදහස සම්බන්ධයි

දැන් බැරුවා වගෙයි ඉන්නට නම් නොදැක
ගත ඉල්ලා වැටෙයි මිහිරද උණුහුමෙක
පළඟැටියෝ නොදැන ඇව්ළුම ගිනිගොඩෙක
පමණක් සැනසුණා රසයෙන් තොල්පොටෙක

සේකර බාල්දියෙ එබුවත් කුණු ඇඳුම
සිදුවිය නොසෝදා ඉවතට  විසිකෙරුම
ඔහු කිසිවිට නොවී ඒ පිළිබඳ පුදුම
සේදුව අතුල්ලා එය හමයන තුරුම

ගැහි ගැහි ගත යදී අනියම් රස පහසක්
සිත ඉකිබිඳී ඉල්ලා තනිවෙන දිනයක්
දෙවියොද මන්ද දුන්නා මේකට රුකුලක්
වැටුණා එදා ඔහු හට රෑ වැඩමුරයක්

අමතක නොවෙන දිනයක් විය දවස එදා
ඇතිවන තුරා ගත්තා රස පහස බෙදා
නිල්මිණි අර්ජුනගෙ ඉඳුරන් ඉද්දි නිදා
නොදැනිම තවත් දිනකට හිරු වීය උදා
......................................................ශාරා

මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

ගඳ සුවඳ 7

ගඳ සුවඳ " (සත්වන වෙළුම  )

මහල් නිවෙස තුළ නම් නැත ගඳ වත්තේ
පිරිසිදු කම තමයි මහ ඉහළින් ඇත්තේ
ඒකම නිසයි නිල්මිණි ගේ හිත ගත්තේ
ගේදොර බඩු පමණි පිළිවෙළකට නැත්තේ

නිදියාගන්න ඇඳවල් නැත පැදුරකිය
ටී වී එකක් නැති සාලය කතරකිය
නොමැතිය  ශීතකරණය මහ අඩුවකිය
කුස්සියෙ භූමිතෙල් පුරවන උදුණකිය

රැකියාවෙන් පසුව දුවගෙන එන්නෙ හුදෙක්
තම දරුවා සමග සුරතල් වෙන්න ටිකක්
පළමුව හොඳින් නාගෙන පිරිසිදුව මිසක්
නිල්මිණි ගෙන් ඔහුට නොලැබුණි ඊට ඉඩක්

දරුවා වඩාගෙන් සිඹ සිඹ සුවඳ සොයා
තියලා බිම වටේ නට නට ගීත කියා
කොල්ලා හිනා වෙනවිට පොඩි මුවග අයා
අත්පුඩි ගැසුවේය  බිළිඳෙකු වගේ පියා

දවසක් උදේ සේකර ගියපසු  වැඩට
දරුවට කිරි පොවද්දී තදවී ළැමට
ගැස්සී ගොසින් කිරි ටික ඉස්මොල්ලයට
සිහිසන් නැතිවුණා මේ කිරිකැටි පුතුට

නිල්මිණි කෑ ගැසී හිස අත බදා බියෙන්
අල්ලපු ගෙදර දොර ඇරුණා විලාපයෙන්
දිව ආ තරුණයා ගෙන ඔහුගේම රියෙන්
රෝහල් ගතකළා මව පුතු විනාඩියෙන්

අණතුර වැළකුණා සිදුවීමට තිබුණ
රෝහල පැසසුවා මේ කොළුවට තරුණ
සේකර ගෙදර ආපසු දැනගෙන කරුණ
තුති පුදකළා ඔහු හට බැඳි සෙනෙහසින

රැකියාවක යෙදෙන අගනගරයෙ ඉහල
ඔහු තරුණයෙකි යාපන පුරවර දමිළ
පෙළපත වංශවත් සිටු පවුළක ප්‍රබල
එනමුත් චතුර ලෙස හසුරන බස සිහල
.......................................................ශාරා

මතු සම්බන්ධයි

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

ගඳ සුවඳ 6

ගඳ සුවඳ  " (සවන වෙළුම )

අම්මා සමග පොදිබැඳ  නිම්නැති සතුට
සේකර පිටත් විය දරුවා බලන්නට
තම රූපයට ඇගෙ වර්ණය එකතුකොට
නිල්මිණි උපත දී තිබුණා පුතෙකු හට

පුදුමාදරෙන් බලමින් පියඹියගෙ නෙත
කමිසේ අතින් පිසදමමින් කඳුළ තෙත
සේකර අතට ගත්තේ තම බිළිඳු පුත
පිරෙනා හදේ දරු සෙනෙහෙනි අපරිමිත

කිරිකැටි පුතා වැඩෙනා තුරු හොඳින් ටිකක්
උන් හිටියාවෙ අපි ළඟ තව  මාස තුනක්
නැන්දම්මා කීය ඉල්ලීමක්ය හුදෙක්
ඔහු හිස වැනී දී මව් සෙනෙහසට ඉඩක්

නිල්මිණි විවර කෙරුවා මුව ඔරොප්පුවේ
මවගේ වදන්මය ඇගෙ සිත කෙනිත්තුවේ
තුන් මාසෙකින් නොව මගෙ මතු මතුත් බවේ
මම නම් ඉන්නෙ නැහැ යළි ඔය මුඩුක්කුවේ

මුළු රෑ පුරා විදිනා මදුරුවො රෑන
කුණු ඇල ගලායන පිටුපස ගඳ ගාන
දහවල දවසෙ උතුරා දහඩිය දාන
තැනකදි දකිවිද දරුවෙකු සුබ සීන

මේකට විසඳුමයි මම දැන් සෙවිය යුතු
සේකර මුවින් නොදොඩා මේ ලෙසින් සිතු
මා මය දිවියෙ ඉදිරිය ගොඩනැගිය යුතු
ඔහු සිඹ පිටත් විය අදරින් සිඟිති පුතු

දෙමසක් ගතවෙන්ට ඉක්බිති මතු මත්තේ
මහල් නිවෙස් පෙළකින් මොරටුව පැත්තේ
සිතමිනි එයින් ගෙදරක් කුලියට ගත්තේ
ඉකමනටම ඔවුන් මෙහි ගෙන ආ යුත්තේ

සිදුවිය පදිංචිය සුබ නැකතකට උදේ
සියයට පණහකින් ඉවරයි ඉරුවරදේ
තව පැනයකිය ඇතතේ ඇගෙ දැවෙන හදේ
සැමියගෙ රැකියාවෙ පවතින "කුප්ප" වදේ
..............................................................ශාරා
සිදුවන විටදි හැමදෙය  පිළිවෙළට හොඳින්
සැමදෙන සුබපතති සොම්නස පිරුණු හදින්
ඉදිරිය ගෙවෙන හැටි බාධක කඩුළු මැදින්
සත්වන වෙළුම ලියනා තුරු බලා හිඳින්

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

ගඳ සුවඳ 4

"ගඳ සුවඳ " ( සිව්වන වෙළුම )

සතියක නිවාඩුව දිනයෙදි ඉවර වෙනා
සේකර ඔන්න රැකියාවට පිටත් වුනා
ගෙදරින් බැස්සාට ලිපිකාරයෙකු මෙනා
ලොරියට නැග්ගෙ බැඳි ටයි පටි ගලවමිනා

හිතකින් නොවේ ඔහු බිරිඳට බොරු කෙරුවේ
මාමණ්ඩියගෙ උපදෙසටයි හිස නැමුවේ
කාලය අනුව හැමදෙය හරියට සිදුවේ
කිව්වත් තද දුකිනි සේකර කල් ගෙව්වේ

තුන් මාසයක් හරි වේගෙන් ඉගිල්ලුණි
සේකර වැඩට වෙනදා මෙන් පිටත් වුනි
ඔක්කාරය සමග අපහසු ගතියකිනි
නිල්මිණි ගෙදර පිටුපස්සේ කරකැවිනි

පැනයකි ගෙනාවේ සැමටම සිදුවීම
ඇය ගෙනගියා වෙදැදුරු වෙත උදයේම
ඔහු තතු බලා නැන්දම්මට කී මේම
මිත්තනියක වේය  ඔබනම් නුදුරේම

සතුටින් ඉපිළ සිම්බා ඇය තම ලේලී
නෙතඟින් විසිරුණා උණුසුම් දිය පේලී
මුවගින් මිමිණීය මේ අසරණ මෑලී
දෙවියෝ රකින් මගෙ කොල්ලගෙ මනමාලී

මව්මින් සිහින පොඩි පුතෙකුගෙ කිරි සුවඳේ
එන ගමනෙමයි ගංගාරාමය වැන්දේ
ගෙදරට ගිහින් සේකර අමතමු නැන්දේ
කියමිනි බෝ මළුව වැඳ පඬුරක් බැන්දේ

ආපසු එනවිටදි බස්නැවතුම  හරියේ
සේකර එල්ලිලා පසුපස කුණු ලොරියේ
දැක යන අයුරු නිල්මිණි පිටකර හැරියේ
ගිනි ගුලියකිය ඉක්බිති ඇරඹෙන වලියේ
............................................................ශාරා
හැම සතුටක්ම දිගු කලකට උරුම නැත
සිනහව කියයි කඳුළැල්ලක රසය නෙත
ඇස නොරැවටෙයි කිසිදා රැවටුවත් සිත
ගිනිකෙළි ගොඩක් එන පස්වන වෙළුමෙ ඇත

ගඳ සුවඳ 5

" ගඳ සුවඳ " (පස්වන වෙළුම )

පෙරැළුණි එතැන් සිට කණපිට හැමදේම
පිළිකෙව් කළා ඇය සේකර තරයේම
විසඳුම එකම මේ නරකය හැරයාම
වත්තම හෙල්ලීය මේකිගෙ කෑ ගෑම

ඇමතුම ලදින් අම්මගෙ සේකර ආවා
වරදට  සමාවද පිරිමැද  ඉල්ලූවා
ඇය කොටි දෙනක සේ දිගටම වෙස් පෑවා
රෙදිපිළි පවා බෑගයකට ඇසිරූවා

නෑ නිල්මිණිව නවතන්නට  විකල්පයක්
බෑණා ගතිය මාමණ්ඩිට කෝල් එකක්
දූ හට දෙමින් ඔහු කී අවවාද  රැසක්
කුණු ඇද්දාට සේකර හොඳ මහත්තයෙක්

අප්පගෙ කතාවෙන් නිල්මිණි පසුබෑවා
ඔසවා ඇඟිල්ලක්  මුත් මේ ලෙස කීවා
මම නිදියන්නෙ නෑ මින්පසු නුඹ ගාවා
ඉක්බිති දීගෙ පොතකට සීමා වූවා

සේකර ඇයට පන මෙන් ආදරය කළා
වැඩෙනා ගැබ දිහා පිය සෙනෙහසින් බලා
තනිකම මකා ගත්තේ දිගු සුසුම් හෙලා
රෑ කල නිදා ගනිමිනි කුස්සියට වෙලා

ඒ දින පටන් ගොළු දීගෙක රස වින්ද
සේකර නම මසක් ලෑබුවේ නෑ නින්ද
මෝරන ගැබ දිහා සතුටින් බලමින් ද
රෑ ගත කලේ මැසි මදුරුවො තලමින්ද

පළවෙනි ප්‍රසූතිය මව් පියො සෙවණෙ කියා
නිල්මිණි ගැබත් උස්සාගෙන ගමට ගියා
දරුවෙකු ලැබුණු බව ඇය හට තිබුණි ලියා
නුදුරෙම ආව පණිවිඩයක ඔහුව සොය
.........................................................ශාරා
සේකර ඉකි ගැසී දුකටද සතුටටද
නොදනී ඇස යවමු සයවන වෙළුමටද
මම යොමුකරන්නෙමි පැනයක් ඔබ හටද
ආසම පුතෙකුටද ?නැතිනම් දුවකටද?

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

ගඳ සුවඳ 3

ගඳ සුවඳ " ( තෙවන වෙළුම)

නැහැයම කකාරයි කුණු කාණුවේ ගඳ
සිරුරම දවයි කර්කශ ගිනි පවන මද
විලිබිය නොදත් ගැහැණුන්ගේ හරුප නද
මැද ගෙට වැදුණි නිල්මිණි මෙය දරා හද

කාමර නොමැති සාලයෙ රෙදි කඩක් යොදා
සාදා තිබුණි කුටියක් හරි මැදින් බෙදා
සේකරගේ දෑත නිල්මිණි තදින් බදා
පිය මැන්නාය මංගල රෑ ගන්න නිදා

සාදය තවම යයි වත්තේ පිරිසතර
ගෑණුද පිරිමි මත්විය පදමින් බඹර
ජෝතිගෙ බෙග්ගෙ ගී යද්දී පවනතර
කෝකිල එම් එස් ද ආවා මේ අතර

උස්සා නැටුව නැටුමට තම රෙදි යාරේ
දිස්වී හැමට පේමක්කගෙ ග්‍රහචාරේ
දැකලා ඒක විසිවී නන්නත්තාරේ
සයිමා බදාගති කණුවක් මහපාරේ

යන්තම් නිමාවිය අළුයම් ජාමෙ නැටුම්
අගුපිල්වල තිබුණි සමහරු ඇඳපු ඇඳුම්
මත්පැන් වලට මුසුවූ විට රාග හැඟුම්
එළිපිට නැටුණි අනියම් පෙම් අනග රැඟුම්

මර ඝෝෂාව හෙමිහිට  නිමවන අතරේ
හිමිදිරි  සුළඟ දස දිග අවටින් පැතිරේ
තුන නද දෙද්දි නගරයෙ හෝරා යතුරේ
ජෝඩුව ඇලවුණා මධුසමයට පැදුරේ

ඉවසුම් නොමැති අශාවට ඉඩදීලා
මධුසම රැඟුම ඇරඹුණි දඩිබිඩි ගාලා
නිදියාගනිල්ලා රෙදිපිළි පොරවාලා
මොකටද ? කුකුල් කූඩුවකට ඇහැ දාලා
...........................................................ශාරා
වටපිට පෙනුම මුත් අභිමතයට නුහුරු
පැද යා යුතුය යුග දිවි මග බැඳි පහුරු
සඟවා බිරිඳගෙන් රැකියාවෙහි අනුරු
හතරෙන් බලමු සේකර හැසිරෙන අයුරු

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි.

ගඳ සුවඳ 2

" ගඳ සුවඳ " ( දෙවන වෙළුම )

ඔබ පවසනා තුරු නම් දැන නොසිටියෙමි
වරදක් වෙලා ඇත ඒ බව දැන් දනිමි
නැග කුණු ලොරියෙ නගරය පිරිසිදු කරමි
කම්කරුවෙකිය මම ලිපිකරුවෙකු නොවෙමි

සිදුවුණු වැරැද්දට ඔබගෙන් යදිමි සමා
පුතෙකුගෙ කරුණකදි අම්මල ඔහොම තමා
ඔහුගේ දෙපා සිඹ කඳුළින් දෙනෙත තෙමා
යන්නට හැරුණි සේකර හිස බිමට යොමා

නවතිනු එනු මැනවි මා වෙත බය නැතුව
විරලම උතුම් ගුණයක් ඇත ඔබ සතුව
දියණිට ගැළපෙන්නෙ ඔබමය මා පැතුව
මේ ඔවදන් අසනු හොඳ සිහියෙන් යුතුව

මම අනුමැතිය දෙමි මගුළට සැරසෙන්න
දියණිය තවම බොළඳය මෙය අහගන්න
පමණක් රැකියාව ඇයගෙන් සඟවන්න
දැනගන්නා තුරුම කාලෙට ඉඩදෙන්න

ජය මගුළින් පිරුණි මුළු බණ්ඩාරවෙල
දෙයතක් අතින් දැල්විණි දිවි පහන් සිල
මනුසත් කමට යට විය නිළ බලය කුළ
ඉරණම එයයි මහබඹු කෙටු නළල තුළ

නිල්මිණි සේකරගෙ මගුළත් සිද්ධ වුනා
හැමදෙය සිරිතටම විරිතට ඉවර වුනා
සමුගෙන යන මොහොත කඳුළින් බරම වුනා
සේකර පියඹ හා ගම වෙත  පිටත් වුනා

යෙදිලා වෙහෙසකර ගමනක උදේ හිට
මරදානට එද්දි හිරු දින නිමාකොට
ගිලෙනා මොහොතෙ දැනුනේ ඇට හැබෑවට
වැටුණා මෙනිය දෙව්ලොව සිට අපායට
.......................................................ශාරා
මුඩුක්කුවේ ඇති ගඳ සහ අපිළිවෙල
ඇයගේ කැකෑරිය නැහැයද මොළය මුළ
දෙදෙනා නෙළන හැටි තම මධුසමයෙ පල
ඉවසීමෙන් බලමු ඊළඟ කොටස තුළ

ශාන්ත රාජපක්ෂ කිවිඳුන්ගේ නිර්මාණයකි .

ගඳ සුවඳ 1

" ගඳ සුවඳ "( පළමු වෙළුම )

සේකර තරුණයෙකි ගතිගුණ පිරුණු හොඳ
සේවය කළේ කුණු ලොරියෙයි ගහන ගඳ
ගේදොර මුඩුක්කුව  තුළ විය නගරෙ මැද
තාමත් මල්සරා නැත හදවතට විද

පොහොසත් දනන් විසුවත් මල් මෙන් මුදුව
දුප්පත් අයට දයිවය සලකයි රුදුව
ඉරණම මෙය නමුත් ලොව දෙපසට බෙදුව
මුන්ගෙනි රැකෙන්නේ නගරයෙ පිරිසිදුව

මව සේකරගෙ නිතරම මැසිවිලිම නගයි
උඹෙ යාළුවෝ අද දරු සුරතල්ද බලයි
බැඳපන් පුතේ මම දැන් මියැදෙන්ඩ ළඟයි
රස්සාවට මගේ කැමතිද? ගැහැණු ළමයි

අවසානයේ මිතුරෙකු පන මෙන් ළබැඳී
සෙව්වා ළඳක් ඔහු හට ගැළැපෙන පරිදී
රස්සා වනම් සඟවා කියමුකො මුළදී
කතිකා කළේ කපුවෙකි තඹ කරන රිදී

මනමාලිය ළඳකි ගැමි බණ්ඩාරවෙල
අගනා රුවැත්තියකිය කළ නොහැකි මිල
ඉගෙනාගෙන තිබේ දක්වා උසස් පෙළ
කපුවා කීය බැන්දොත් පෙර පිනකි බල


මනමාලයෙකි ලිපිකරු සේවයෙ නියුතු
සඟවා කීය රැකියාවෙහි නියම තතු
කපුවා නියම කරගති දින බැලිය යුතු
ආවා නෑදැයො සහ මව සමග පුතු

සාදරයෙන්ම පිළිගත්තා සියළු දෙනා
තේ මේසයක් තිබුණා ජය පහට තනා
ආවා මනාලිය රුව දෙවඟනක් මෙනා
මාමණ්ඩිය වැනී ලිපිකරු බෑණ ගැනා

ඊළඟ විරාමය  දෙපළගෙ කැමැත්තට
සේකර නැගී සිටියා සුළු මොහොතකට
කීමට තිබෙන බව   පවසා යමක් මට
මාමණ්ඩියව කැඳවා ගති අයිනකට
..................................................ශාරා
පළමුව සරසවිය දෙවනුව ඔබ හැමද
කලකිනි දුටුවෙ අවසර ගමි පා නමැද
ඉතිරිය ලියන්නට ඉස්සර ගඳ සුවඳ
කොහොමද දැනුනෙ කියලා මට කියනවද ?

ශාන්ත රාජපක්ෂ කිවිඳුන් ගේ නිර්මාණයකි.

Saturday, July 2, 2016

බේබද්දාගේ බිරිය..

බේබද්දාගේ බිරිය
පෙම පුද කළේ ඔය හද මත මා---------------------------දුටුව
ඉම නොපෙනෙනා මුදු ගති සිඹලා----------------------තුටුව
කිම හිමියනේ සිට ආ දිනයේ---------------------------කැටුව
නිම වී ගියේ දෙවි ගුණ නුඹගේ--------------------------පටුව

මීවිත නුඹට අම රස ලූ පැණි----------------------------යකිය
ජීවිත අපට නීරස වූ නිර---------------------------------යකිය
වී ඇති වෙනස අදහා ගනු බැරි--------------------------සකිය
මා නෙතු අගට සැමදා හිමි කඳු-------------------------ළකිය

උසුළනු බැරිය හිමි සඳ රහ මෙර-------------------------දුඟද
පෙරදා වගේ නැත ඒ සුසුමන----------------------------සුවඳ
ලෝදිය බඳුන තුළ ගිළි කාරණ--------------------------කිමද
හිස ලෑ යහන සුව මදිවද මා-----------------------------ලමැද

වත්සුණු පුසුඹ නොව හිමියනි මා-----------------------ගතට
බඩ ගිනි දැනී හඬනා පුතුගේ---------------------------කුසට
කිරි ටික නොවැටෙනා විට දැනෙනා-------------------දුකට
වාවනු බැරිය මවකව මාගේ----------------------------සිතට

නොපතමි කිරුළු පළඳා රැජිණක----------------------වන්න
අභරණ කසී සළු ඕනෑ නැත----------------------------ගන්න
කෝ මගෙ මාලෙ අම්මේ මේ ගෙල-------------------ලන්න
පොඩි දුව අසන විට බැහැ දුක ඉව---------------------සන්න

බීගෙන පැමිණ තැලුවට මට ඉදි-------------------මෙන්න
හීනෙක පවා සිතුවේ නැත පළි----------------------ගන්න
රළු බස දොඩනු දරුවන් හට නෑ------------------හෙන්න
ඒ පින ඇතිය මතු දා නුඹ බුදු----------------------වෙන්න

ලෝකය නුඹට සැහැසිව ආ විට---------------------නිබඳ
බීමත එයට විසඳුම වූයෙද----------------------------සබඳ
හෙට ඒ ලොවට පිවිසෙන පුතු හා--------------------දුවද
දිවි ජය ගන්න යා යුතු යහ මග---------------------මෙයද
ශාන්ත විජේසිංහ  කිවිඳුන්ගේ නිර්මාණයකි (ශාවී)
2012.06.03

Monday, June 27, 2016

ඇරඹුම සහ නිමාව...!!

ඇරඹුම සහ නිමාව

රස තන හස ගන මිහිදුම් සළු පොටකින් මෘදුව  වසා
මිහි සුරඟන සුව සිහිනෙක තුරු වැලකින් පාර  අසා
ඇගෙ අත ගෙන මධු සමයට රිවි කුමරුන් වඩින          නිසා
තුණු සියොළඟ කිති කැවෙමින් හිමි පිදුමට බලයි  දසා

පෙරඹර නැගි පැහැදුල් සස කිරණ ඇගේ නළලෙ  වැදී
හද බිඳ හල දුකඳුර යයි බියවී වෙනතකට  ඇදී
බල සුරගඟ හිනැහෙන හැටි කිඳුරඟනට කැළුම්    දිදී
සිඹ නිලුපුල සහ රතදර ඇගෙ නෙතඳර කඳුළු   බිඳී

සෙනෙහස් ගඟ මුකුළු පෙනේ පුන් පයොදර මැදින්     නෙළූ
රන් රැස් වැද ප්‍රිය කුමරුගෙ මින් රළ තව තවත්  ගැලූ
හිමි සඳ වැද ඇගෙ උයනට යුග හස නල ලෙසින්         පෙළූ
නෙක පියුමන් මත මුවරද  මවා සුවඳ පාට  බැලූ

ගෙල සුරතද නැබ සියොළඟ  රන් රැස් දහරින්ම  තවා
සිඹ වුවනත ළඳ පොබකර දිවි රස කර  දවස  මවා
ඔහු අවපස වෙත ළංවන විට ඇගෙ මුලු හදම  දවා
සිඳු ගඟ තම කුස තුළ රවි සඟවයි පැහැසරය  නිවා

නයෝමි සිරිනාලි නවරත්න කිවිඳියගේ නිර්මාණයකි.

Tuesday, June 14, 2016

සමාධි පිළිමය අභියසදී බුදුහිමිට කී කේලම..!!

~~ සමාධි පිළිමය අභියසදී
බුදුහිමිට කී කේලම ~~

දුර මග ගෙවා ගෑටුවෙ තෙල් මල්...........ඇන්න
සිව් බඹ විහරණය වෑහෙනු දැක..............ගන්න
ඉර - කය දවන මුදු පුළුවනි ඉව..............සන්න
අවසර ! හිමියනේ පායුග නම................දින්න

සමිඳුනි, තුන් වරක් ඇවිදින් අතී...............තෙහී
සිරිලක පුරා හෙලුවට ප්රඥාවෙ................වැහී
බොදුනුවො කියාගෙන වැන්දත් කවුරු.....කොහී
බෙහෙතට එකෙක් නෑ ! ධර්මය සමඟ.......මෙහී

වසරට වාරයක් සමනොළ කන්ද...............නැග
දෙදණින් වැටෙති බුදු සිරිපා මළුව...............අග
බැති බරටමද මන්දා ! බොදුනුවන්...……....ළඟ
පස් වෙනි සීලෙ බිඳලති යන අතර…………මග

සත වෙත මහා කරුණාවෙන් දුන්නු….….බෙදා
සිරි මුඛ ද්වාරෙන් ඔබ දෙසු දහම..............එදා
චීවර දරණ උතුමන් පරසිද්ද....................සදා
දෙසුමට වඩින්නෙත් මිල මුදලටය……....මෙදා

සුදු පිරුවටෙන් සැරසී හැම පෝය………....කට
පුද පූජාද, පිළිවෙත් වුව ඇත....................එමට
මෙත් භාවනාවත් කියවති පුරුද්..................දට
ගෝනුස්සෝය එනමුත් පපු කුහර……….....යට

හැම දේකදිම දන පින ඉදිරියට..............හොවා
පිරිතක් කියයි ගෙදරදි බුදු පුතුන්...............ලවා
ලැජ්ජයි හිමියනේ ඉතිරිය කීම..................පවා
සඟ ඝන පිටවු සැන ඇත මත් වතුර............එවා

දනිමිය පොදුවෙ පර පන වැනසීම...........පවක්
දුන්නෙද ? හිමියනේ ගවයට වෙනම….තැනක්
මල බෙර ගහති දුටුවිට ගව ඝාත............නයක්
සිය ජීවිතෙත් පිදුවා එක සංඝ................නමක්

තවකෙකු කරන පව දැක වෛරෙන්…..…..ඊට
හැසිරෙන එකද අකුසලයක් වූ..................වාට
ඕවා තේරුණේ හිමියනි කොයි................කාට
උන්ගේ කරුම ගෙනියයි උන් යන…..…....දාට
(ශාවී) ශාන්ත විජේසිංහ කිවිඳුන්ගේ නිර්මාණයකි .

Friday, June 3, 2016

අසන් මෙපුවත...!!

අසන් මෙපුවත ලියම් කවිකර දරාගත හැකි වේද........ කියනු
දනන් සමහර මෙබිම වසනා කරයි අමතක යුදය........ දරුණු
උපන් මව්බිම දෙකඩ කරනට එදිරි රණවිරු පුතෙකි... රුහුණු
මෙවන් විරුවන් විඳින සැප ගැන ඔබ දකින දේ මෙහිම ලියනු

සටන අවසන් විය සිරිලක සැමරුවා නිදහස.............. එදා
පිහිට විය යුතුමයි සෙනේබර විරු පුතුට දිවි තෙක්...... සදා
පාදයක් නැත සෙබල පුතුගේ ගමන බොරු කකුලක් යොදා
ඔහුද ගොඩවුනි බසයකට පෙර කිහිලි කරුවක් ගෙන... බදා

බෙදා වෙන් කර ඇති අසුන් එහි ගසා දැන්වීමක්...... ඇතේ
බිඳී අත පය විරු පුතුන් සහ ගර්භනී මව් වරු.......... වෙතේ
මිනිස් වෙස් ගත් සුනඛයෙකු විය විරුට හිමි අසුනෙහි මීතේ
මුදාගත් රට මුන්ට නිදනට නුඹට හිමි ඇසුනද.........නැතේ

දෙනෙත ඇර මේ අධම මිනිසා නොරිස්සුම් බැල්මක් හෙලා
පුතුගේ අත ඇති කිහිලි කරුවද ඉල්ලුවා ඔහු හද........ තලා
බසින විට ඔබ ගමන අවසන දෙන්නෙමි ඔහු සන්...... කළා
වීරිය ගෙන ගත සිට ගෙනද ඇත රණ බිමද සිහිපත්..වෙලා

සියලු මුඛවල් ගොළු වෙලා ඇත දුටු නමුදු මේ ජඩ වැඩේ
විවර වූවා මගේ කට හඬ කෙලෙස ඉවසමු දන....ගොඩේ
සතුරු බැල්මෙන් නැගිට සිටියා සිරවෙලා සිටි සේ. මඩේ
නිහඬ සිටි අන් දනන් කටවල් අගුලු හැරියා..... වක්කඩේ

මිනිස්කම් අද පලා ගොස් ඇත මුදල් මත එය ඇත.....රැඳී
දහම් අසනා නිරන්තරයෙන් බෝ දනා අකුසලෙ..... බැඳි
ලියන්නට නම් තවත් දේ වෙති යහගුණය නැත හද...සිඳී
කියන් මිතුරනි නුඹ සිතන දේ කොතෙක් ලිව්වත් ඉඩ මදී

ආර්ය ගමගේ කිවිඳුන්ගේ නිර්මාණයකි .