Ishara Wanasuriya
28 February 2016
පුතේ හෙට කමු බත කටක්...
කන්න බත් පත හදාගන්නයි පාර අයිනේ පේ .....................වුනේ
ඉන්න බැහැ තව තවත් ලතැවී එන්න එන්නම රෑ .................උනේ
ගන්න බැරිවද මල් වැලක් අද බිඳක් මා හට පා.. ...............සෙනේ
යන්න යයි නුඹ මක්කරන්නද ඇහෙන් කඳුලක් .............බේරුනේ
හයක් හතරක් නොදන්නා පොඩි පැටවු දෙන්නා ගෙයි .........ඉඳන්
බයක් දන්නැති කමින් හිනහෙයි දෑත් පොඩි එකිනෙක ........බැඳන්
ණයක් ගන්නට කෙනෙක්වත් නෑ ගියත් අත් එක්කොට ......වැඳන්
පයක් නැති කම මිසක මහ මඟ ඉන්නෙ නෑ මෙලෙසට .......ඉඳන්
කෙසේ යන්නද ගෙදර පැත්තේ පුතේ කන්නට නෑ ............කියා
මෙසේ වන්නට කරුණ කිවමැන දෙවියනේ කොතැනද .......ඔයා
දොසේ කිමදැයි කියා සිතුවිට අත් කොනින් දෑසම.............. පියා
ඇසේ කකියන කඳුළ වැස්සේ මට හොරෙන් සැඟවී ...........ගියා
කන්ද උස ලොකු හීන නැතිවට තිබුන නම් සහලින් .........මිටක්
බින්ද හරි පුරවන්න හැක කුස කියා සිතුවත් එය .............තුටක්
නින්ද නැති රැය අරන් එනවා අළුත් අරමුණු ඇති ..........හෙටක්
වින්ද දුක අමතක කරන්නට පුතේ හෙට කමු බත් ..........කටක්
ඉශාර වනසූරිය
අන්තර් ජාලයේ තිබූ , පාදයක් අහිමි අසරණ පුද්ගලයෙකු මල් වැල් විකුනා ගත නොහැකිව මහ වැස්සේ දෙනෙත් පිස දමමින් මහමග වාහනයක් අසලින් ඉවත්ව යන ඡායා රූපයක් නිමිති කරගෙන ඉශාර වනසූරිය කිවිඳුන් විසින් ලියන ලද්දකි.
No comments:
Post a Comment