රබර් ගසක පෙම...
මමත් පුංචී නුඹත් ළදැරී එදා ඉදලයි පෙම් කළේ
අම්ම සමගින් වල් නෙලන්නට රබර් වත්තට ආ වෙලේ
තුටින් හැකි ලෙස සෙවන දුන්නා ගිම නසන්නට දාවලේ
ගැයූ කවිපද වලට අත්තල් මගෙනි මතකද ඒ් කලේ
ලැමද ඉස්සී විය ලමිස්සී පාසලෙන් එන අතරවාරේ
සැමට රහසේ මවෙත ආවා ඔහුගෙ අතගෙන නැතිව චාරේ
සිතද රිදුණා නිතර යද්දී බයිසිකලයේ නැගිල පාරේ
බලා සිටියා හිතේ මුල්ලක සගවගෙන මගෙ පෙමෙහි සාරේ
තනි කැමැත්තට දීග ගියදා මහ රැයේදිත් ඇහැරිලා
සඳපාන නුඹ වෙතට එන්නට මගේ අතු එහෙ මෙහෙ කළා
ඉවෙන් වාගේ යළිත් ඒවිද සිතුන හින්දම මග බලා
සිටියෙ වසරනෙ ගමට ආවනෙ දරුවකුත් කුස ඹසවලා
මගේ අහිතක් නැහැනෙ සොඳුරියෙ හිමි නොමැති නුඹ රැකගමී
කරපු දඟනම් ඉවතලමි යළි කිසිදු වරදක් නොසොයමී
රන් රිදී නැත දිවි ගෙවන්නට තරමකින්වත් අතදෙමී
කැකෑරෙන පෙම කිරිවිලස අද පොල්කටුව වෙත එවනෙමී
ශ්‍රියානි පුෂ්පකුමාරි කිවිඳියගේ නිර්මාණයකි
03/03/2016
No comments:
Post a Comment