ධාතු වන්දනාව
මවකි හැත්තෑ වියද සපිරුණු පුතුගෙ සෙවණේ දවස ගෙවනා
දැනෙන අත් පා වේදනාවද දෑස් මත දුකඳුරද රඳනා
ඉහළ රැකියාවකිය දියණිය ඉඳ හිටදි විත් කිමද අසනා
ලේලියද පින් පිඬකි සැම දින හඬ නගා ගෙයි බුදුන් පුදනා
කුස පිරෙන්නට අහර නම් ඇය කිසිම දිනයක නැත ලබන්නේ
පුතණුවන් එන තුරුම කැත කුණු ගොඩෙහිමයි බුදු මවු රැඳෙන්නේ
මැසි කැලත් විත් හමන දුඟදට ආවඩා තනියට රැඳෙන්නේ
අනේ මේ මොන කරුමයක්දැයි නිවැසි බිරිඳයි දොස් නගන්නේ
සපිරි සඳවත කළු වලාවක් අතර රිංගා ගිමන් හරිනා
දිනක මවු ගේ තුළම සිටියදි දොර ජනෙල් හැම අඟුළු වැහුණා
ධාතු පෙන්වන උත්සවේ වෙත සියලුදෙන සුදු වතින් ඇදුණා
පැන් පිපාසය දරනු නොහැකිව මහලු මව අත් පාද සැලුනා
හිස වැදී සෙනෙහස් තටාකේ විසි වෙලා ගොස් පයක් බිඳුණා
අඳුරු කුටියේ රුදුරු බිම මත උතුම් මවු කිරි කඳුළු හැළුණා
පින් පුරෝගන තොරන් වඳිමින් නඩය ගම් දොර වෙතට ඇදුණා
දිලුණු පහණේ තෙල් සිඳී ගොස් දස පැයක් ගත වෙලා තිබුණා
(මදූ ඡන්දසෙහි " පුණු අතිපුණු " විරිත ලගු ගුරු නියමයක් නොමැතිව පදයක මාත්රා 28 කි)
නයෝමි සිරිනාලි නවරත්න කිවිඳියගේ නිර්මාණයකි .
No comments:
Post a Comment